අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.2.4. සමිද්ධි සුත්තං

9.1.2.4. සමිද්ධි තෙරුන්ට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය……

එකල්හී ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක.

“සමිද්ධියෙනි, පුරුෂයාගේ සිතුවිලි, විතර්ක හටගන්නේ කුමක් අරමුණු කොට ද?” “ස්වාමීනී, නාමරූප අරමුණු කොට ය.”

“සමිද්ධියෙනි, ඒවා නා නා ස්වභාවයට පත් වන්නේ කොතැනදී ද?” “ස්වාමීනී, ධාතූන්හිදී ය.”

“සමිද්ධියෙනි, ඒවා හටගන්නේ කුමකින් ද?” “ස්වාමීනී, ස්පර්ශයෙන් හටගන්නේ ය.”

“සමිද්ධියෙනි, ඒවා එක්රැස් වන්නේ කුමකට ද?” “ස්වාමීනී, වේදනාවට එක් රැස් වෙයි.”

“සමිද්ධියෙනි, ඒවා ප්‍රමුඛ වන්නේ කුමකට ද?” “ස්වාමීනී, සමාධියට ප්‍රමුඛ වෙයි.”

“සමිද්ධියෙනි, ඒවාට අධිපති වන්නේ කුමක් ද?” “ස්වාමීනී, අධිපති වන්නේ සිහිය යි.”

“සමිද්ධියෙනි, ඒවා කුමක් උතුම් කොට ඇත්තේ ද?” “ස්වාමීනී, ප්‍රඥාව උතුම් කොට ඇත්තේ ය.”

“සමිද්ධියෙනි, ඒවා කුමක් සාර කොට ඇත්තේ ද?” “ස්වාමීනී, විමුක්තිය සාර කොට ඇත්තේ ය.”

“සමිද්ධියෙනි, ඒවා කුමක බැසගන්නේ ද?” “ස්වාමීනී, අමෘතයෙහි බැසගන්නේ ය.”

“සමිද්ධියෙනි, පුරුෂයාගේ සිතුවිලි, විතර්ක හටගන්නේ කුමක් අරමුණු කොට දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, නාමරූප අරමුණු කොට යැ’යි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා නා නා ස්වභාවයට පත් වන්නේ කොතැනදී දැයි ඇසූ කල්හී ස්වාමීනී, ධාතූන්හිදී යැ’යි කීවෙහි ය. ‘සමිද්ධියෙනි, ඒවා හටගන්නේ කුමකින් දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, ස්පර්ශයෙන් හටගන්නේ යැ’යි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා එක්රැස් වන්නේ කුමකට දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, වේදනාවට එක් රැස් වෙයි’ යැයි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා ප්‍රමුඛ වන්නේ කුමකට දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, සමාධියට ප්‍රමුඛ වෙයි’ යැයි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවාට අධිපති වන්නේ කුමක් දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, අධිපති වන්නේ සිහිය යැ’යි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා කුමක් උතුම් කොට ඇත්තේ දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, ප්‍රඥාව උතුම් කොට ඇත්තේ යැ’යි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා කුමක් සාර කොට ඇත්තේ දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, විමුක්තිය සාර කොට ඇත්තේ යැ’යි කීවෙහි ය. සමිද්ධියෙනි, ඒවා කුමක බැසගන්නේ දැයි ඇසූ කල්හී ‘ස්වාමීනී, අමෘතයෙහි බැසගන්නේ යැ’යි කීවෙහි ය.

යහපති, යහපති, සමිද්ධියෙනි. මා විසින් ප්‍රශ්න අසන ලද්දේ සමිද්ධියෙනි, ඔබ විසඳූ අයුරු යහපති. ඒ තුළින් ඔබ මාන්නයකට නොපැමිණියේ ය.”

සාදු! සාදු!! සාදු!!!

සමිද්ධි සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M