එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසි සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවිය.
“සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි යි. ඉදින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය වෙත යන්නෙම් නම්, යහපති. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට වැඩි සේක. වැඩම කොට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව වැඩහුන් සේක.
එසමයෙහි එහි රැස් වී සිටි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කතා ව හටගත්තේ ය.
“ආයුෂ්මත, යම් කෙනෙක් උපාදාන සහිත ව කළුරිය කරයි නම්, ඒ සියල්ලෝ නිරයෙන් නොමිදුණෝ ය. තිරිසන් යෝනියෙන් නොමිදුණෝ ය, ප්‍රේත විෂයෙන් නොමිදුණෝ ය. අපාය දුර්ගති විනිපාතයෙන් නොමිදුණෝ ය.”
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. ප්‍රතික්ෂේප නොකළහ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට හුනස්නෙන් නැගී ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි සිතා පිටත් ව වැඩියහ.
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේ වෙත සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූ සේක.
“ස්වාමීනී, මෙහිලා මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි. එකල්හී ස්වාමීනී, මට මේ අදහස ඇතිවිය.
‘සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව ම වේලාසන වැඩි යි. ඉදින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය වෙත යන්නෙම් නම්, යහපති.’
ඉක්බිති ස්වාමීනී, මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමයට වැඩියෙමි. වැඩම කොට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් සමඟ සතුටු වුණෙමි. සතුටු විය යුතු පිළිසඳර කතා බහේ යෙදී එකත්පස් ව වැඩහුන්නෙමි.
එසමයෙහි ස්වාමීනී, එහි රැස් වී සිටි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කතා ව හටගත්තේ ය.
‘ආයුෂ්මත, යම් කෙනෙක් උපාදාන සහිත ව කළුරිය කරයි නම්, ඒ සියල්ලෝ නිරයෙන් නොමිදුණෝ ය. තිරිසන් යෝනියෙන් නොමිදුණෝ ය, ප්‍රේත විෂයෙන් නොමිදුණෝ ය. අපාය දුර්ගති විනිපාතයෙන් නොමිදුණෝ ය.’
එකල්හී ස්වාමීනී, මම ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්තෙමි. ප්‍රතික්ෂේප නොකළෙමි. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට හුනස්නෙන් නැගී ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි සිතා පිටත් ව පැමිණියෙමි.”
“සාරිපුත්තයෙනි, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්ථක පිරිවැජියෝ කවරහු ද? කවරහු නම් උපාදාන සහිත කෙනා ‘උපාදාන සහිත කෙනෙකි’ යි හෝ උපාදාන රහිත කෙනා ‘උපාදාන රහිත කෙනෙකි’ යි හෝ දන්නාහු ද?
සාරිපුත්තයෙනි, මේ උපාදාන සහිත පුද්ගලයෝ නව දෙනෙකි. ඔවුහු කළුරිය කරන්නාහු නිරයෙන් මිදුණෝ ය. තිරිසන් යෝනියෙන් මිදුණෝ ය. ප්‍රේත විෂයයෙන් මිදුණෝ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණෝ ය. ඒ කවර නව දෙනෙක් ද යත්;
1. සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා අන්තරා පරිනිබ්බායී වෙයි. සාරිපුත්තයෙනි, මේ පළමු පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
2.-5. තව ද සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය සම්පූර්ණ කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා උපහච්ච පරිනිබ්බායී වෙයි. ….(පෙ)…. අසංඛාර පරිනිබ්බායී වෙයි. ….(පෙ)…. සසංඛාර පරිනිබ්බායී වෙයි. ….(පෙ)…. උද්ධංසෝත අකණිට්ඨගාමී වෙයි. සාරිපුත්තයෙනි, මේ පස්වෙනි පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
6. තව ද සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු තුනක් වූ සංයෝජනයන් ක්ෂය කොට, රාග – ද්වේෂ – මෝහ තුනී කිරීමෙන් සකදාගාමී වෙයි. එක් වරක් ම මේ ලොවට පැමිණ දුක් කෙළවර කරන්නේ වෙයි. සාරිපුත්තයෙනි, මේ සයවෙනි පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
7. තව ද සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු තුනක් වූ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් ඒකබීජී වෙයි. මිනිස් ලොවෙහි එක්වරක් ම ඉපිද දුක් කෙළවර කරන්නේ වෙයි. සාරිපුත්තයෙනි, මේ සත්වෙනි පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
8. තව ද සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු තුනක් වූ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් කෝලංකෝල වෙයි. දෙවරක් හෝ තුන්වරක් හෝ කාම ලෝකයෙහි සැරිසරා දුක් කෙළවර කරන්නේ වෙයි. සාරිපුත්තයෙනි, මේ අටවෙනි පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
9. තව ද සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සීලය සම්පූර්ණ කරන්නේ වෙයි. සමාධිය ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ප්‍රඥාව ප්‍රමාණවත් ලෙස කරන්නේ වෙයි. ඔහු තුනක් වූ සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සත්තක්ඛත්තුපරම වෙයි. දෙව් ලොවෙහි ත්, මනුලොවෙහි ත් සත් වරක් පරම කොට සැරිසරා දුක් කෙළවර කරන්නේ වෙයි. සාරිපුත්තයෙනි, මේ නවවෙනි පුද්ගලයා උපාදාන සහිත ව කළුරිය කරද්දී නිරයෙන් මිදී සිටියේ ය. තිරිසන් යෝනියෙන් මිදී සිටියේ ය. ප්‍රේත විෂයෙන් මිදී සිටියේ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදී සිටියේ ය.
සාරිපුත්තයෙනි, බාල වූ අව්‍යක්ත වූ අන්‍ය තීර්ථක පිරිවැජියෝ කවරහු ද? කවරහු නම් උපාදාන සහිත කෙනා ‘උපාදාන සහිත කෙනෙකි’ යි හෝ උපාදාන රහිත කෙනා ‘උපාදාන රහිත කෙනෙකි’ යි හෝ දන්නාහු ද?
සාරිපුත්තයෙනි, මේ උපාදාන සහිත පුද්ගලයෝ නව දෙනා කළුරිය කරන්නාහු නිරයෙන් මිදුණෝ ය. තිරිසන් යෝනියෙන් මිදුණෝ ය. ප්‍රේත විෂයයෙන් මිදුණෝ ය. අපාය දුර්ගති විනිපාතයෙන් මිදුණෝ ය. සාරිපුත්තයෙනි, මේ ධර්ම පරියාය ම විසින් මෙපමණ කලක් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ට නොපැවසුවෙමි. ඒ මක් නිසා ද යත්, මේ ධර්ම පරියාය අසා ප්‍රමාදයට පත් නොවේවා යන කරුණ නිසා ය. නමුත් සාරිපුත්තයන් විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් මේ ධර්ම පරියාය පවසන ලදී.
සාදු! සාදු!! සාදු!!!
සෝපාදිසේස සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M