එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මා විසින් සැවැත් නුවර වස් වසන ලද්දේ ය. ස්වාමීනී, මම දැන් ජනපද චාරිකාවෙහි යන්නට කැමැත්තෙමි.”
“සාරිපුත්තයෙනි, දැන් යමකට කාලය දන්නෙහි නම්, ඔබ එය දනුව.”
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට පැදකුණු කොට බැහැරට වැඩි සේක.
ඉක්බිති එක්තරා භික්ෂුවක් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩම කොට සුළු වේලාවකින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්ත තෙමේ මගේ සිරුරෙහි හැපී ඒ වරද නැති නොකොට චාරිකාවට පිටත් වූයේ නොවැ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්ෂුවක් ඇමතූ සේක.
“භික්ෂුව, මෙහි එව. මාගේ වචනයෙන් සාරිපුත්තයන් අමතව. ‘ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේකැ’ යි.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ යම් තැනක සිටි සේක් ද, එතැනට ගියේ ය. ගොස් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ආයුෂ්මත් සාරිපුත්තයෙනි, ශාස්තෘන් වහන්සේ ඔබ අමතන සේක.”
“එසේ ය, ආයුෂ්මතැ” යි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ භික්ෂුවට පිළිවදන් දුන් සේක.
එසමයෙහි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත්, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, දොර යතුරු ගෙන වෙහෙරින් වෙහෙරට වැඩියාහ.
“පෙරට එව් ආයුෂ්මත්නි. පෙරට එව් ආයුෂ්මත්නි, දැන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිංහනාද කරන්නාහ.”
එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“සාරිපුත්තයෙනි, මෙහිලා තොපට එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් දොස් පැවරීමකට පැමිණියේ ය. ‘ස්වාමීනී, ආයුෂ්මත් සාරිපුත්ත තෙමේ මගේ සිරුරෙහි හැපී ඒ වරද නැති නොකොට චාරිකාවට පිටත් වූයේ නොවැ’යි.”
1. “ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ පොළොවට පිරිසිදු දේ ත් දමති. අපිරිසිදු දේ ත් දමති. මල මුත්‍රා ත් දමති. කෙළ ත් දමති. සැරව ත් දමති. ලේ ත් දමති. ඒ හේතුවෙන් පොළොව නොපෙළෙයි. ලැජ්ජා නොවෙයි. පිළිකුලට පත් නොවෙයි. එසෙයින් ම ස්වාමීනී, මම පොළොව හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
2. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ ජලයෙහි පිරිසිදු දේ ත් සෝදති. අපිරිසිදු දේ ත් සෝදති. මල මුත්‍රා ත් සෝදති. කෙළ ත් සෝදති. සැරව ත් සෝදති. ලේ ත් සෝදති. ඒ හේතුවෙන් ජලය නොපෙළෙයි. ලැජ්ජා නොවෙයි. පිළිකුලට පත් නොවෙයි. එසෙයින් ම ස්වාමීනී, මම ජලය හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
3. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ ගින්න පිරිසිදු දේ ත් දවයි. අපිරිසිදු දේ ත් දවයි. මල මුත්‍රා ත් දවයි. කෙළ ත් දවයි. සැරව ත් දවයි. ලේ ත් දවයි. ඒ හේතුවෙන් ගින්න නොපෙළෙයි. ලැජ්ජා නොවෙයි. පිළිකුලට පත් නොවෙයි. එසෙයින් ම ස්වාමීනී, මම ගින්න හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
4. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ සුළඟ පිරිසිදු දේ ත් ගෙන හමයි. අපිරිසිදු දේ ත් ගෙන හමයි. මල මුත්‍රා ත් ගෙන හමයි. කෙළ ත් ගෙන හමයි. සැරව ත් ගෙන හමයි. ලේ ත් ගෙන හමයි. ඒ හේතුවෙන් සුළඟ නොපෙළෙයි. ලැජ්ජා නොවෙයි. පිළිකුලට පත් නොවෙයි. එසෙයින් ම ස්වාමීනී, මම සුළඟ හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
5. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ දූවිලි පිසින රෙදි කඩ පිරිසිදු දේ ත් පිස දමයි. අපිරිසිදු දේ ත් පිස දමයි. මල මුත්‍රා ත් පිස දමයි. කෙළ ත් පිස දමයි. සැරව ත් පිස දමයි. ලේ ත් පිස දමයි. ඒ හේතුවෙන් දූවිලි පිසින රෙදිකඩ නොපෙළෙයි. ලැජ්ජා නොවෙයි. පිළිකුලට පත් නොවෙයි. එසෙයින් ම ස්වාමීනී, මම දූවිලි පිසින රෙදිකඩ හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
6. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ සැඩොල් දරුවෙක් හෝ සැඩොල් දැරියක් හෝ පැසක් අතට ගෙන රෙදි කඩමාල්ලක් හැඳ ගමකට හෝ නියම් ගමකට හෝ පිවිසෙයි නම්, නීච සිත ම පිහිටුවාගෙන පිවිසෙයි ද, එසෙයින් ම ස්වාමීනී, මම සැඩොල් දරුවෙකු හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
7. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ අං කැඩී ගිය ගවයෙක් කීකරු වූයේ, හොඳින් දමනය වූයේ, හොඳින් හික්මුණේ, පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ ඇවිදගෙන යද්දී කිසිවෙකුට පයින් හෝ අඟින් හෝ හිංසාවක් නොකරයි ද, එසෙයින් ම ස්වාමීනි, මම අං කැඩී ගිය ගවයෙකු හා සම වූ සිතින් විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී ව තරහ නැති සිතින් වාසය කරමි.
8. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ සැරසෙනු කැමති තරුණ යොවුන් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ හිස් සෝදා ස්නානය කොට සිටි කල්හී සර්ප කුණකින් හෝ බලු කුණකින් හෝ මිනිස් කුණකින් හෝ බෙල්ලෙහි දමන ලද්දේ නම් ඒ හේතුවෙන් පෙලෙයි ද, ලැජ්ජා වෙයි ද, පිළිකුල් කරයි ද, එසෙයින් ම ස්වාමීනී, මම මේ කුණු කයෙන් පීඩා විඳිමි. ලැජ්ජා වෙමි. පිළිකුල් කරමි.
9. ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය. ස්වාමීනී, යම් සේ පුරුෂයෙක් තැන තැන ලොකු කුඩා සිදුරු ඇති, කුණු මේද තෙල් උඩිනුත් වැගිරෙන යටිනුත් වැගිරෙන මස් භාජනයක් පරිහරණය කරයි ද, එසෙයින් ම ස්වාමීනී, මම තැන තැන ලොකු කුඩා සිදුරු ඇති, උඩිනු ත් යටිනුත් අශූචි වැගිරෙන මේ කුණු කයක් පරිහරණය කරමි.
ස්වාමීනී, යමෙකුට කය පිළිබඳ ව කායගතාසතිය නොපිහිටියේ නම් මෙහිලා ඔහු එක්තරා සබ්‍රහ්මචාරී නමකගේ සිරුරෙහි හැපී, ඒ වරද නැති නොකොට චාරිකාවෙහි පිටත් වන්නේ ය.”
ඉක්බිති ඒ භික්ෂුව හුනස්නෙන් නැගිට සිවුර ඒකාංශ කොට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාද අභියස සිරසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“ස්වාමීනී, යම් සේ බාලයෙකු වෙත හෝ මෝඩයෙකු වෙත හෝ අදක්ෂයෙකු වෙත හෝ වරදක් පැමිණෙන්නේ ද, එසෙයින් ම මා කෙරෙහි වරද යටකොට ගියේ ය. මම ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට යම් අසත්‍ය වූ තුච්ඡ වූ මුසා වූ අභූතයෙන් චෝදනා කළෙම් ද, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ මාගේ වරද මත්තෙහි සංවර වීම පිණිස වරදක් වශයෙන් පිළිගන්නා සේක්වා!”
“ඒකාන්තයෙන් ම භික්ෂුව, යම් සේ බාලයෙකු වෙත හෝ මෝඩයෙකු වෙත හෝ අදක්ෂයෙකු වෙත හෝ වරදක් පැමිණෙන්නේ ද, එසෙයින් ම ඔබ කෙරෙහි වරද යටකොට ගියේ ය. ඔබ සාරිපුත්තයන්ට අසත්‍ය වූ තුච්ඡ වූ මුසා වූ අභූතයෙන් චෝදනා කළෙහි ය. යම් කලක භික්ෂුව, ඔබ වරද වරද වශයෙන් දැක ධර්මානුකූල ප්‍රතිකර්ම කරන්නෙහි ද, ඔබගේ ඒ වරද අපි පිළිගනිමු. භික්ෂුව, යමෙක් වරද වරද වශයෙන් දැක ධර්මානුකූල ව පිළියම් කරයි ද, මත්තෙහි සංවරයට පැමිණෙයි ද, එය ආර්ය විනයෙහි අභිවෘද්ධියකි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමතා වදාළ සේක.
“සාරිපුත්තයෙනි, මේ හිස් පුරුෂයාගේ හිස මෙහි ම සත් කඩකට පැලෙන්නට කලින් සමාව දෙන්න.”
“ඉදින් ස්වාමීනී, ඒ ආයුෂ්මත් තෙමේ ‘මට සමාවෙන්න’ කියා මෙසේ පවසයි නම්, මම ඒ ආයුෂ්මතුන්ට සමාව දෙමි.”
සාදු! සාදු!! සාදු!!!
සාරිපුත්ත සීහනාද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M