අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.1.5. බලසංගහවත්ථු සුත්තං

9.1.1.5. බලසංග්‍රහයට මුල්වන දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ බල සතරකි. ඒ කවර සතරක් ද යත්;

ප්‍රඥා බලය, වීර්යය බලය, නිවැරදි දේ ගැන ඇති බලය සහ සංග්‍රහ බලය ය.

1. මහණෙනි, ප්‍රඥා බලය යනු කුමක් ද?

අකුසල ගණනට වැටෙන යම් අකුසල් දහම් වෙත් ද, කුසල් ගණනට වැටෙන යම් කුසල් දහම් වෙත් ද, වැරදි ගණනට වැටෙන යම් වැරදි දේ වෙත් ද, නිවැරදි ගණනට වැටෙන යම් නිවැරදි දේ වෙත් ද, කළු පැහැ ගණනට වැටෙන යම් කළු පැහැ අකුසල ධර්මයන් වෙත් ද, සුදු පැහැ ගණනට වැටෙන යම් සුදු පැහැ කුසල් වෙත් ද, සේවනය නොකළ යුතු ගණනට වැටෙන යම් සේවනය නොකළ යුතු දේ ඇද්ද, සේවනය කළ යුතු ගණනට වැටෙන යම් සේවනය කළ යුතු දේ ඇද්ද, ආර්යභාවයට නුසුදුසු ගණනට වැටෙන යම් ආර්ය භාවයට නුසුදුසු දේ ඇද්ද, ආර්යභාවයට සුදුසු ගණනට වැටෙන යම් ආර්ය භාවයට සුදුසු දේ ඇද්ද, ඔහු විසින් ඒ ධර්මයෝ ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය. සිතින් විමසන ලද්දාහු ය. මහණෙනි, මෙය ප්‍රඥා බලය යැයි කියනු ලැබෙයි.

2. මහණෙනි, වීර්යය බලය යනු කුමක් ද?

අකුසල ගණනට වැටෙන යම් අකුසල් දහම් වෙත් ද, වැරදි ගණනට වැටෙන යම් වැරදි දේ වෙත් ද, කළු පැහැ ගණනට වැටෙන යම් කළු පැහැ අකුසල් වෙත් ද, සේවනය නොකළ යුතු ගණනට වැටෙන යම් සේවනය නොකළ යුතු දේ ඇද්ද, ආර්යභාවයට නුසුදුසු ගණනට වැටෙන යම් ආර්ය භාවයට නුසුදුසු දේ ඇද්ද, ඒ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. පධන් වීර්යය කරයි.

කුසල් ගණනට වැටෙන යම් කුසල් දහම් වෙත් ද, නිවැරදි ගණනට වැටෙන යම් නිවැරදි දේ වෙත් ද, සුදු පැහැ ගණනට වැටෙන යම් සුදු පැහැ කුසල් වෙත් ද, සේවනය කළ යුතු ගණනට වැටෙන යම් සේවනය කළ යුතු දේ ඇද්ද, ආර්යභාවයට සුදුසු ගණනට වැටෙන යම් ආර්ය භාවයට සුදුසු දේ ඇද්ද, ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩි කොට ගනියි. පධන් වීර්යය කරයි. මහණෙනි, මෙය වීර්යය බලය යැයි කියනු ලැබෙයි.

3. මහණෙනි, නිවැරදි දේ ගැන ඇති බලය යනු කුමක් ද?

මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවැරදි වූ කාය කර්මයෙන් යුක්ත වෙයි. නිවැරදි වූ වචී කර්මයෙන් යුක්ත වෙයි. නිවැරදි වූ මනෝ කර්මයෙන් යුක්ත වෙයි. මහණෙනි, මෙය නිවැරදි දේ ගැන ඇති බලය යැයි කියනු ලැබෙයි.

4. මහණෙනි, සංග්‍රහ බලය යනු කුමක් ද?

මහණෙනි, සංග්‍රහයන්ට මුල්වන කරුණු සතරකි. එනම්, දානය, ප්‍රියවචනය, අර්ථචරියාව සහ සමානාත්මතාවය යි.

මහණෙනි, යම් මේ ධර්ම දානයක් ඇද්ද, මෙය දානයන් අතුරින් අග්‍ර වෙයි.

මහණෙනි, ධර්මයෙන් ප්‍රයෝජන ඇති ව, සවන් යොමු කොට සිටින කෙනෙකුට නැවත නැවත ධර්මය දෙසන්නේ ය යන යමක් වෙයි ද, මෙය ප්‍රිය වචනයන් අතුරින් අග්‍ර වෙයි.

මහණෙනි, යම් මේ සැදැහැවත් නැති කෙනා ශ්‍රද්ධා සම්පත්තියෙහි සමාදන් කරවයි ද, ඇතුළු කරවයි ද, පිහිටුවයි ද, දුස්සීල කෙනා සීල සම්පත්තියෙහි සමාදන් කරවයි ද, ඇතුළු කරවයි ද, පිහිටුවයි ද, මසුරු කෙනා ත්‍යාග සම්පත්තියෙහි සමාදන් කරවයි ද, ඇතුළු කරවයි ද, පිහිටුවයි ද, ප්‍රඥාව නැති කෙනා ප්‍රඥා සම්පත්තියෙහි සමාදන් කරවයි ද, ඇතුළු කරවයි ද, පිහිටුවයි ද, මෙය අර්ථචරියාවන් අතුරින් අග්‍ර යැයි කියනු ලැබෙයි.

මහණෙනි, සෝවාන් කෙනෙක් සෝවාන් කෙනෙකුට සමානාත්ම වෙයි. සකදාගාමී කෙනෙක් සකදාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. අනාගාමී කෙනෙක් අනාගාමී කෙනෙකුට සමානාත්ම වෙයි. රහතන් වහන්සේ නමක් තවත් රහතන් වහන්සේ නමකට සමානාත්ම වෙති. මෙය සමානාත්ම පිරිස අතුරින් සමානාත්මතාවයෙන් අග්‍ර වෙයි.

මහණෙනි, මෙය සංග්‍රහ බලය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී සතරක් වූ බලයන් ය.

මහණෙනි, මේ සතර බලයෙන් යුතු ආර්ය ශ්‍රාවකයා පස් ආකාර භයක් ඉක්මවා ගියේ වෙයි. ඒ කවර පසක් ද යත්, ජීවිකාව පිළිබඳ භය, ගැරහුම් ලැබීම පිළිබඳ භය, පිරිස ඉදිරියෙහි පසුබෑම පිළිබඳ භය, මරණය පිළිබඳ භය සහ දුගතිය පිළිබඳ භය ය.

මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් සළකයි. මම ජීවිකාව පිළිබඳ භයට භය නොවෙමි. මම ජීවිකාව පිළිබඳ භයට කුමකට නම් භය වෙම් ද? මා තුළ සතර බලයක් තිබෙනවා නොවැ. එනම්, ප්‍රඥා බලය ත්, වීරිය බලය ත්, නිවැරදි දේ ගැන ඇති බලය ත්, සංග්‍රහ බලය ත් ය. ප්‍රඥාවක් නැති කෙනා නම් ජීවිකාව පිළිබඳ භයට භය වේවි. කුසීත කෙනා නම් ජීවිකාව පිළිබඳ භයට භය වේවි. වැරදි ලෙස කයින්, වචනයෙන්, මනසින් කටයුතු කරන කෙනා නම් ජීවිකාව පිළිබඳ භයට භය වේවි. සංග්‍රහයෙන් තොර කෙනා නම් ජීවිකාව පිළිබඳ භයට භය වේවි.

මම ගැරහුම් ලැබීම පිළිබඳ ව භයට භය නොවෙමි ….(පෙ)…. මම පිරිස් මැද පසුබසින්නට වීමේ භයට භය නොවෙමි ….(පෙ)…. මම මරණ භයට භය නොවෙමි. ….(පෙ)…. මම දුගති භයට භය නොවෙමි. මම දුගති භයට කුමකට නම් භය වෙම් ද? මා තුළ සතර බලයක් තිබෙනවා නොවැ. එනම්, ප්‍රඥා බලය ත්, වීරිය බලය ත්, නිවැරදි දේ ගැන ඇති බලය ත්, සංග්‍රහ බලය ත් ය. ප්‍රඥාවක් නැති කෙනා නම් දුගති භයට භය වේවි. කුසීත කෙනා නම් දුගති භයට භය වේවි. වැරදි ලෙස කයින්, වචනයෙන්, මනසින් කටයුතු කරන කෙනා නම් දුගති භයට භය වේවි. සංග්‍රහයෙන් තොර කෙනා නම් දුගති භයට භය වේවි.

මහණෙනි, මේ සතර බලයෙන් යුක්ත ආර්ය ශ්‍රාවකයා මේ පස් ආකාර බිය ඉක්මවා ගියේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

බලසංගහවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M