එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් නන්දක තෙරණුවෝ උපස්ථාන ශාලාවෙහි භික්ෂූන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වති. සමාදන් කරවති. උත්සාහවත් කරවති. සතුටට පත් කරවති.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට උපස්ථාන ශාලාවට වැඩි සේක. වැඩම කොට දොරටුවෙන් පිට කොටුවෙහි කථාව අවසන් වන තෙක් සිටගෙන සිටි සේක. ඉක්බිති කථාව අවසන් වූ බව දැන වදාළ භාග්‍යවතුන් වහන්සේ උගුර පාදා දොරගුලට තට්ටු කළ සේක. ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දොර විවර කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ උපස්ථාන ශාලාවට පිවිසි සේක. පිවිස පැණවූ අසුනෙහි වැඩහුන් සේක. වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක තෙරුන් ඇමතූ සේක.
“නන්දකයෙනි, ඔබගේ මේ දීර්ඝ ධර්ම පරියාය භික්ෂූන්ට වැටහුණේ ය. එනමුදු දොරටුවෙන් පිට කොටුවෙහි කථාව අවසන් වන තෙක් සිටගෙන හුන් මාගේ පිට රිදෙයි.”
මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් නන්දක තෙරණුවෝ තැති ගැනීමට පත් ව භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ බාහිර දොරටු කොටුවෙහි වැඩසිටි සේකැයි නොදනිමු. ඉදින් ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ බාහිර දොරටු කොටුවෙහි වැඩසිටි සේකැයි දනිමු නම් මෙපමණකුත් අපට නොවැටහෙන්නේ ය.”
එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්දක තෙරුන් තැති ගැනීමට පත් වී සිටින බව දැන ආයුෂ්මත් නන්දක තෙරුන්ට මෙය වදාළ සේක.
“යහපති. යහපති. නන්දකයෙනි. මෙසේ නන්දකයෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙය හැර අනගාරික සසුනෙහි පැවිදි වූ ඔබ වැනි කුලපුත්‍රයන් හට මෙබඳු ධර්ම කථාවෙන් සිටීම යහපති. නන්දකයෙනි, ඔබ එක් රැස් වූ විට දෙකරුණක් කළ යුත්තේ ය. ධර්ම කථාව හෝ කළ යුත්තේ ය. ආර්ය වූ නිශ්ශබ්දතාවයෙන් හෝ සිටිය යුත්තේ ය.
නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් වෙයි. සිල්වත් නොවෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.
නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. එනමුත් ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ද ලබයි නම් මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.
නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නේ ද වෙයි. එනමුත් අධිපඤ්ඤාධම්ම විපස්සනාව නොලබන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
නන්දකයෙනි, එය මෙබඳු දෙයකි. පා සතරකින් යුතු සතෙක් සිටියි. ඔහුගේ එක පාදයක් කුඩා වූයේ, ලාමක වූයේ වෙයි. මෙසේ හේ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. එසෙයින් ම නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නේ ද වෙයි. එනමුත් අධිපඤ්ඤාධම්ම විපස්සනාව නොලබන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නෙක් ද, අධිපඤ්ඤාධම්ම විපස්සනාව ලබන්නෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ද ලබයි නම්, අධිපඤ්ඤාධම්ම විපස්සනාව ද ලබයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගතයන් වහන්සේ හුනස්නෙන් නැගී විහාරයට පිවිසි සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ආයුෂ්මත් නන්දක තෙරණුවෝ භික්ෂූන් ඇමතූහ.
“ආයුෂ්මත්නි, දැන් භාග්‍යවතුන් වහන්සේ පද සතරකින් මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග ප්‍රකාශ කොට වදාරා හුනස්නෙන් නැගී විහාරයට වැඩි සේක.
‘ නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් වෙයි. සිල්වත් නොවෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. ‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.
නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. එනමුත් ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය නොලබන්නේ වෙයි. ….(පෙ)…. ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නේ ද වෙයි. එනමුත් අධිපඤ්ඤාධම්ම විපස්සනාව නොලබන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
නන්දකයෙනි, එය මෙබඳු දෙයකි. පා සතරකින් යුතු සතෙක් සිටියි. ඔහුගේ එක පාදයක් කුඩා වූයේ, ලාමක වූයේ වෙයි. මෙසේ හේ ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි. එසෙයින් ම නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද වෙයි. සිල්වත් ද වෙයි. ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නේ ද වෙයි. එනමුත් අධිපඤ්ඤාධම්ම විපස්සනාව නොලබන්නේ වෙයි. මෙසේ ඔහු ඒ අංගයෙන් අසම්පූර්ණ වෙයි.
‘මම කවර අයුරින් සැදැහැවතෙක් ද, සිල්වතෙක් ද, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ලබන්නෙක් ද, අධිපඤ්ඤාධම්ම විපස්සනාව ලබන්නෙක් ද වෙම් දැ’ යි ඔහු විසින් ඒ අංගය සම්පූර්ණ කළ යුත්තේ ය. යම් කලක නන්දකයෙනි, භික්ෂුව සැදැහැවත් ද, සිල්වත් ද වෙයි නම්, ආධ්‍යාත්මයෙහි චිත්ත සමාධිය ද ලබයි නම්, අධිපඤ්ඤාධම්ම විපස්සනාව ද ලබයි නම්, මෙසේ හේ ඒ අංගයෙන් සම්පූර්ණ වූයේ වෙයි.’
ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
ආයුෂ්මත්නි, මෙහිලා භික්ෂුවක් භික්ෂූන්ට ධර්මය දේශනා කරයි. එනම්, මුල කල්‍යාණ වූ, මැද කල්‍යාණ වූ, අවසානය කල්‍යාණ වූ, අර්ථ සහිත වූ, පැහැදිලි ප්‍රකාශනයෙන් යුක්ත වූ, මුළුමනින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් යම් යම් අයුරින් භික්ෂූන්ට ධර්මය දෙසයි නම් ආදිකල්‍යාණ වූ ….(පෙ)…. පිරිසිදු නිවන් මග පවසයි නම්, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේට ප්‍රිය ද වෙයි. මනාප ද වෙයි. ගරු ද වෙයි. සම්භාවනීය ද වෙයි. ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි මේ පළමු ආනිශංසය යි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් භික්ෂූන්ට ධර්මය දේශනා කරයි. එනම්, මුල කල්‍යාණ වූ, ….(පෙ)….. නිවන් මග පවසයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් යම් යම් අයුරින් භික්ෂූන්ට ධර්මය දෙසයි නම් ආදිකල්‍යාණ වූ ….(පෙ)…. පිරිසිදු නිවන් මග පවසයි නම්, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අර්ථයට සංවේදී ත් වෙයි. ධර්මයට සංවේදී ත් වෙයි. ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි මේ දෙවෙනි ආනිශංසය යි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් භික්ෂූන්ට ධර්මය දේශනා කරයි. එනම්, මුල කල්‍යාණ වූ, ….(පෙ)….. නිවන් මග පවසයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් යම් යම් අයුරින් භික්ෂූන්ට ධර්මය දෙසයි නම් ආදිකල්‍යාණ වූ ….(පෙ)…. පිරිසිදු නිවන් මග පවසයි නම්, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි තිබෙන ගම්භීර වූ අර්ථපදයන් ප්‍රඥාවෙන් විනිවිද දකියි. ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි මේ තුන්වෙනි ආනිශංසය යි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් භික්ෂූන්ට ධර්මය දේශනා කරයි. එනම්, මුල කල්‍යාණ වූ, ….(පෙ)….. නිවන් මග පවසයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් යම් යම් අයුරින් භික්ෂූන්ට ධර්මය දෙසයි නම් ආදිකල්‍යාණ වූ ….(පෙ)…. පිරිසිදු නිවන් මග පවසයි නම්, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා තවදුරටත් සම්භාවනා කරති. එනම් ‘ඒකාන්තයෙන් මේ ආයුෂ්මත් තෙමේ උත්තමාර්ථයට පැමිණියේ හෝ වෙයි. පැමිණෙන්නේ හෝ වෙයි’ කියා ය. ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි මේ සිව්වෙනි ආනිශංසය යි.
තව ද ආයුෂ්මත්නි, භික්ෂුවක් භික්ෂූන්ට ධර්මය දේශනා කරයි. එනම්, මුල කල්‍යාණ වූ, ….(පෙ)….. නිවන් මග පවසයි. ආයුෂ්මත්නි, භික්ෂුවක් යම් යම් අයුරින් භික්ෂූන්ට ධර්මය දෙසයි නම් ආදිකල්‍යාණ වූ ….(පෙ)…. පිරිසිදු නිවන් මග පවසයි නම්, ඒ ඒ කරුණෙහි යම් භික්ෂූහු ධර්මයෙහි හික්මෙමින් නොපත් අනුත්තර යෝගක්ෂේමය වූ නිර්වාණය පතමින් වාසය කරන්නාහු වෙත් ද, ඔවුහු ඒ ධර්මය අසා නොපත් මාර්ගඵලයන්ට පත්වීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, සාක්ෂාත් නොකළ නිවන සාක්ෂාත් කිරීම පිණිස ත් වීරිය අරඹති. එහි යම් ඒ භික්ෂූහු රහත් වූවාහු, ක්ෂීණාශ්‍රව වූවාහු, බඹසර වාසය නිමකොට, කළ යුත්ත කොට, කෙලෙස් බර බහා තබා, පිළිවෙලින් පැමිණුන අරහත්වය ඇති, භව සංයෝජන ක්ෂය කළ, මැනැවින් දැන දුකින් නිදහස් වූවාහු වෙත් ද, ඒ භික්ෂූහු ඒ ධර්මය අසා මෙලොවදී ලබන සැප විහරණයෙහි ම යෙදී වාසය කරති. ආයුෂ්මත්නි, සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි මේ පස්වෙනි ආනිශංසය යි.
ආයුෂ්මත්නි, මේ වනාහී සුදුසු අවස්ථාවෙහි ධර්ම ශ්‍රවණය කිරීමෙහි, සුදුසු අවස්ථාවෙහි ධර්මය සාකච්ඡා කිරීමෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
නන්දක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M