මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චාලිකා නගරයෙහි චාලිකා පර්වතයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එකල්හී ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මම ජන්තු ගමට පිණ්ඩපාතය වඩින්නට කැමති වෙමි.”
“මේඝිය, දැන් යමකට කාලය නම් එය දැනගන්න.”
ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ජන්තු ගමට පිඬු පිණිස පිවිසියහ. ජන්තු ගමෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරලා පැමිණ කිමිකාලා නදී තීරය වෙත එළඹියහ. කිමිකාලා නදී තීරයෙහි ඔබමොබ සක්මන් කරමින් සිටින ආයුෂ්මත් මේඝිය තෙරුන් හට ඉතා මනහර වූ, සිත පහන් කරවන අඹ වනයක් දකින්නට ලැබුණේ ය. දැක මෙසේ සිතුවේ ය. ‘ඒකාන්තයෙන් ම මේ අඹ වනය මනහර ය. සිත පහන් කරවයි. ඒකාන්තයෙන් ම ප්‍රධන් වීර්යය වඩනු කැමති කුලපුත්‍රයෙකු හට ප්‍රධන් වීර්යය පිණිස අගනේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම මේ අඹ වනයට ප්‍රධන් වීර්යය පිණිස එන්නෙමි.’
ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මෙහි මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන ජන්තු ගමට පිඬු පිණිස පිවිසියෙමි. ජන්තු ගමෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරලා පැමිණ කිමිකාලා නදී තීරය වෙත එළඹියෙමි. කිමිකාලා නදී තීරයෙහි ඔබමොබ සක්මන් කරමින් සිටින මට ඉතා මනහර වූ, සිත පහන් කරවන අඹ වනයක් දකින්නට ලැබුණේ ය. දැක මට මේ අදහස ඇතිවිය. ‘ඒකාන්තයෙන් ම මේ අඹ වනය මනහර ය. සිත පහන් කරවයි. ඒකාන්තයෙන් ම ප්‍රධන් වීර්යය වඩනු කැමති කුලපුත්‍රයෙකු හට ප්‍රධන් වීර්යය පිණිස අගනේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම ඒ අඹ වනයට ප්‍රධන් වීර්යය පිණිස යන්නෙමි’ යි.”
“මේඝිය, යම්තාක් අන්‍ය වූ කිසියම් භික්ෂුවක් පැමිණෙයි ද, ඒ තාක් ඉවසව. අපි එකලා ව සිටිම්හ.”
දෙවෙනි වතාවට ත් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මත්තෙහි කළ යුතු කිසිවක් නැත්තේ ය. කරන ලද දෙයෙහි ත් යළි කිරීමක් නැත්තේ ය. ස්වාමීනී, මට වනාහී මත්තෙහි කළ යුතු දේ ඇත්තේ ය. කරන ලද දෙයෙහි ත් යළි කිරීමක් ඇත්තේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම ඒ අඹ වනයට ප්‍රධන් වීර්යය පිණිස යන්නෙමි.”
“මේඝිය, යම්තාක් අන්‍ය වූ කිසියම් භික්ෂුවක් පැමිණෙයි ද, ඒ තාක් ඉවසව. අපි එකලා ව සිටිම්හ.”
තෙවෙනි වතාවට ත් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මත්තෙහි කළ යුතු කිසිවක් නැත්තේ ය. කරන ලද දෙයෙහි ත් යළි කිරීමක් නැත්තේ ය. ස්වාමීනී, මට වනාහී මත්තෙහි කළ යුතු දේ ඇත්තේ ය. කරන ලද දෙයෙහි ත් යළි කිරීමක් ඇත්තේ ය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ මට අවසර දෙන සේක් නම්, මම ඒ අඹ වනයට ප්‍රධන් වීර්යය පිණිස යන්නෙමි.”
“මේඝිය, ප්‍රධන් වීර්යය පිණිස යැයි කියන්නහුට අපි කුමක් කියන්නෙමු ද? මේඝිය, දැන් යමකට කාලය යැයි හඟනෙහි නම්, ඔබ එය දනුව.”
එකල්හී ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට ඒ අඹ වනය කරා ගියහ. ගොස් ඒ අඹ වනයේ ඇතුළට පිවිස එක්තරා රුක් සෙවණක දිවා විහරණය පිණිස හිඳගත්හ. එකල්හී ආයුෂ්මත් මේඝිය තෙරුන්ට ඒ අඹ වනයෙහි වාසය කරද්දී බොහෝ සෙයින් ම තුන් වැදෑරුම් පාපී අකුසල විතර්කයන් මතු වෙවී ආවේ ය. එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක යි. එවිට ආයුෂ්මත් මේඝිය තෙරුන්ට මේ අදහස ඇතිවූයේ ය.
‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයක් නොවැ. භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයක් නොවැ. මම වනාහී ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර අනගාරික සසුනෙහි පැවිදි වුණෙමි. වැලිදු කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක යන මේ තුන් වැදෑරුම් පාපී අකුසල විතර්කයන් මා පසුපස ලුහුබඳිනවා නොවැ.’
ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මට ඒ අඹ වනයෙහි වාසය කරද්දී බොහෝ සෙයින් ම තුන් වැදෑරුම් පාපී අකුසල විතර්කයන් මතු වෙවී ආවේ ය. එනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක සහ විහිංසා විතර්ක යි. ස්වාමීනී, එවිට මට මේ අදහස ඇතිවූයේ ය.
‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයක් නොවැ. භවත්නි, ඒකාන්තයෙන් ම අද්භූතයක් නොවැ. මම වනාහී ශ්‍රද්ධාවෙන් යුතුව ගිහි ගෙය අත්හැර අනගාරික සසුනෙහි පැවිදි වුණෙමි. වැලිදු කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය යන මේ තුන් වැදෑරුම් පාපී අකුසල විතර්කයන් මා පසුපස ලුහුබඳිනවා නොවැ’ යි.”
“මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස පංච ධර්මයක් උපකාරී වෙයි. ඒ කවර පසක් ද යත්,
1. මේඝිය, මෙහිලා භික්ෂුව කළණ මිතුරන් ඇතතේ වෙයි. කළණ යහළුවන් ඇත්තේ වෙයි. කළණ මිතුරන් ඇසුරට නැඹුරු වූයේ වෙයි. මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන පළමු කරුණ මෙය යි.
2. තව ද මේඝිය, භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන දෙවන කරුණ මෙය යි.
3. තව ද මේඝිය, භික්ෂුව කෙලෙස් පතුරු ගැලවී යන, සමථ විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් ඒ කථාවක් ඇද්ද, එනම්, අල්පේච්ඡ බව ගැන කථා කිරීම, ….(පෙ)…. මෙබඳු වූ කථාව කැමති සේ ලබන්නේ වෙයි. නිදුකින් ලබන්නේ වෙයි. විපුල සේ ලබන්නේ වෙයි. මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන තුන්වෙනි කරුණ මෙය යි.
4. තව ද මේඝිය, භික්ෂුව පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන සිව්වෙනි කරුණ මෙය යි.
5. තව ද මේඝිය, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මේඝිය, නොමේරූ චිත්ත විමුක්තිය මෝරා යාම පිණිස උපකාර වන පස්වෙනි කරුණ මෙය යි.
මේඝිය, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. සිල්වත් වන්නේ ය, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්නේ ය, යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ ය, අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ ය යන කරුණ යි.
මේඝිය, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. කෙලෙස් පතුරු ගැලවී යන, සමථ විදර්ශනා භාවනා සිතට උපකාරී වන යම් ඒ කථාවක් ඇද්ද, එනම්, අල්පේච්ඡ බව ගැන කථා කිරීම, ….(පෙ)…. මෙබඳු වූ කථාව කැමති සේ ලබන්නේ ය, නිදුකින් ලබන්නේ ය, විපුල සේ ලබන්නේ ය යන කරුණ යි.
මේඝිය, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. පටන් ගත් වීරිය ඇත්තේ වන්නේ ය, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වන්නේ ය, දැඩි පරාක්‍රමයෙන් යුතු වන්නේ ය, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වන්නේ ය යන කරුණ යි.
මේඝිය, කළණ මිතුරන් ඇති, කළණ යහළුවන් ඇති, කළණ මිතුරන්ගේ ඇසුරට වැටුණු භික්ෂුව විසින් මෙය කැමති විය යුත්තේ ය. ප්‍රඥාවන්ත වන්නේ ය, හටගැනීම ත් නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වන්නේ ය, ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වන්නේ ය යන කරුණ යි.
මේඝිය, ඒ භික්ෂුව විසින් මේ පංච ධර්මය මත පිහිටා වැඩිදුරට ත් ධර්මයන් සතරක් වැඩිය යුත්තේ ය.
6. රාගය ප්‍රහාණය කිරීමට අසුභය වැඩිය යුත්තේ ය.
7. ද්වේෂය ප්‍රහාණය කිරීමට මෛත්‍රිය වැඩිය යුත්තේ ය.
8. අනවශ්‍ය විතර්ක නැසීමට ආනාපානසතිය වැඩිය යුත්තේ ය.
9. ‘මම වෙමි’ යි යන මාන්නය මුලින් ම නැසීමට අනිත්‍ය සංඥාව වැඩිය යුත්තේ ය. මේඝිය, අනිත්‍ය සංඥාව වඩන භික්ෂුව හට අනාත්ම සංඥාව පිහිටයි. අනාත්ම සංඥාව ඇති භික්ෂුවගේ සිත අස්මිමානය මුළුමනින් ම නැසීමට යයි. මෙලොවදී ම නිවනට පැමිණෙයි.
සාදු! සාදු!! සාදු!!!
මේඝිය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M