අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.7. පත්තනික්කුජ්ජන සුත්තං

8.2.4.7. පාත්‍රය යටට හැරවීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් අංග අටකින් යුක්ත වූ උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කළ යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;

භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ කරයි. භික්ෂූන්ට අනර්ථය කිරීමට උත්සාහ කරයි. භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ කරයි. භික්ෂූන්ට ආක්‍රෝශ කරයි. පරිභව කරයි. භික්ෂූන් හා භික්ෂූන් භේද කරයි. බුදුරජුන්ගේ ගුණ නසා කරුණු කියයි. ධර්මයෙහි ගුණ නසා කරුණු කියයි. සංඝයාගේ ගුණ නසා කරුණු කියයි.

මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ උපාසකයා ඉදිරියේ පාත්‍රය යටට හැරවීමේ කර්මය කළ යුත්තාහු ය.

මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් අංග අටකින් යුක්ත වූ උපාසකයා ඉදිරියේ පාත්‍රය උඩට හැරවීමේ කර්මය කළ යුත්තාහු ය. ඒ කවර අටකින් ද යත්;

භික්ෂූන්ගේ අලාභය පිණිස උත්සාහ නොකරයි. භික්ෂූන්ට අනර්ථය කිරීමට උත්සාහ නොකරයි. භික්ෂූන් වාසය නොකරවීමට උත්සාහ නොකරයි. භික්ෂූන්ට ආක්‍රෝශ නොකරයි. පරිභව නොකරයි. භික්ෂූන් හා භික්ෂූන් භේද නොකරයි. බුදුරජුන්ගේ ගුණ කියයි. ධර්මයේ ගුණ කියයි. සංඝයාගේ ගුණ කියයි.

මහණෙනි, සංඝයා වහන්සේ කැමති නම් මේ අංග අටෙන් යුක්ත වූ උපාසකයා ඉදිරියේ පාත්‍රය උඩට හැරවීමේ කර්මය කළ යුත්තාහු ය.

සාදු! සාදු!! සාදු!!!

පත්තනික්කුජ්ජන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M