අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.6. නාගිත සුත්තං

8.2.4.6. නාගිත තෙරුන්ට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි වඩමින් මහත් වූ භික්ෂු සංඝයා සමඟ ඉච්ඡානංගල නම් වූ කෝසලවාසීන්ගේ බ්‍රාහ්මණ ගමකට වැඩම කළ සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඒ ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩවසන සේක.

ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණ ගෘහපතීහු මෙකරුණ ඇසූහ. ‘ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්මී පැවිදි වූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානංගලයට වැඩම කොට ඉච්ඡානංගලයෙහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වැඩ වාසය කරති’ යි.

ඒ භවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් උස් ව පැන නැංගේ ය. එනම් මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. ….(පෙ)…. එබඳු වූ රහතුන්ගේ දැක්ම පවා ඉතා යහපත් ය’ යනුවෙනි.

ඉක්බිති ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු ඒ රාත්‍රිය ඇවෑමෙන් බෙහෝ ඛාද්‍ය භෝජ්‍යයන් ගෙන ඉච්ඡානංගල වන ලැහැබ යම් තැනක ඇත්තේ ද, එතැනට පැමිණියහ. පැමිණ දොරටුවෙන් බැහැර කොටසෙහි උස් හඬ ඇති ව, මහා ඝෝෂා ඇති ව සිටියාහු ය.

එසමයෙහි ආයුෂ්මත් නාගිත තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායක වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන් ඇමතූ සේක.

“නාගිතයෙනි, ඒ උස් හඬින් කෑ ගසන්නෝ, මහා හඬින් කෑ ගසන්නෝ කවරහු ද? මසුන් මරා විකුණන තැන සිටින කෙවුලන් බඳු නොවැ.”

“ස්වාමීනී, මේ ඉච්ඡානංගලවැසි බ්‍රාහ්මණගෘහපතීහු භාග්‍යවතුන් වහන්සේ ද, භික්ෂු සංඝයා ද උදෙසා බොහෝ ඛාද්‍ය භෝජ්‍ය ගෙනවුත් බාහිර දොරටු කොටුවෙහි සිටියාහු ය.”

“නාගිතයෙනි, පිරිවර සමඟ මම එක් නොවෙම්වා! පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, ඉතා පහසුවෙන් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, ඉතා පහසුවෙන් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසන සේක්වා! සුගතයන් වහන්සේ ඉවසන සේක්වා! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේට මෙය ඉවසන්නට කාලය යි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දැන් යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට නියම්ගම්වාසී වූ ත්, ජනපදවාසී වූ ත්, බ්‍රාහ්මණගෘහපතිවරු ද, නිගම ජනපදවාසීහු ද නැඹුරු වී සිටිත් ම ය. ස්වාමීනී, එය මෙබඳු දෙයකි. මහත් දිය බිඳු සහිත ව වැස්ස වසිනා කල්හී පහළට නැඹුරු වූ බිමට අනුව ජලය ගලා යයි ද, ස්වාමීනී, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ යම් යම් දිශාවකට වඩිනා සේක් ද, ඒ ඒ දිශාවට නියම්ගම්වාසී වූ ත්, ජනපදවාසී වූ ත්, බ්‍රාහ්මණගෘහපතීහු, නිගම ජනපදවාසීහු නැඹුරු වී සිටිත් ම ය. ඒ මක් නිසා ද යත්, ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සීලය හා ඥානය නිසාවෙනි.”

“නාගිතයෙනි, යස පිරිවර සමඟ මම එක් නොවෙම්වා! යස පිරිවර ද මා සමඟ එක් නොවේවා! නාගිතයෙනි, මම යම් නෙක්ඛම්ම සැපයක්, හුදෙකලා විවේකයෙන් ලද සැපයක්, සංසිඳීමෙන් ලද සැපයක්, සම්බෝධි සැපයක්, කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, ඉතා පහසුවෙන් ලබන්නෙම් ද, එසේ මා ලබන මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය යම් කෙනෙකුට කැමති සේ නොලැබෙන්නේ නම්, නිදුකින් නොලැබෙන්නේ නම්, ඉතා පහසුවෙන් නොලැබෙන්නේ නම් ඔහු ඒ අසූචි සැපය, නිද්‍රා සැපය, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ගෙන් ලැබෙන සැපය පිළිගන්නේ ය.

නාගිතයෙනි, ඇතැම් දෙවියෝ පවා මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය කැමති සේ ලබන්නාහු නොවෙති. නිදුකින් ලබන්නාහු නොවෙති. ඉතා පහසුවෙන් ලබන්නාහු නොවෙති. ඒ මම මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය කැමති සේ ලබන්නෙම් වෙමි. නිදුකින් ලබන්නෙම් වෙමි. ඉතා පහසුවෙන් ලබන්නෙම් වෙමි.

1. නාගිතයෙනි, පිරිස සමඟ එකට එක් වී, නැවත නැවත එක් වී, එහි ඇලී වාසය කරන ඔබට ද, මෙබඳු සිතක් වෙයි. ‘යම්බඳු නෙක්ඛම්ම සුවයක්, පවිවේක සුවයක්, සංසිඳුණු සුවයක්, සම්බෝධ සුවයක් කැමති සේ ලබන්නෙම් වෙම් නම්, නිදුකින් ලබන්නෙම් වෙම් නම්, ඉතා පහසුවෙන් ලබන්නෙම් වෙම් නම්, ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය කැමති සේ ලබන්නාහු නොවෙති. නිදුකින් ලබන්නාහු නොවෙති. ඉතා පහසුවෙන් ලබන්නාහු නොවෙති. එනිසා ය, මේ ආයුෂ්මතුන් වහන්සේලා එක් රැස් වෙවී, නැවත නැවත එක් වෙවී, පිරිස් සමඟ ඇලී වාසය කරන්නේ.’

2. නාගිතයෙනි, මෙහිලා මම එකිනෙකාට ඇඟිලිවලින් කිතිකවමින්, මහ හඬින් සිනහසෙන, ක්‍රීඩා කරන භික්ෂූන් දකිමි. එවිට නාගිතයෙනි, මට මේ අදහස ඇතිවෙයි. ‘මම යම්බඳු නෙක්ඛම්ම සුවයක්, පවිවේක සුවයක්, සංසිඳුණු සුවයක්, සම්බෝධ සුවයක් කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, ඉතා පහසුවෙන් ලබන්නෙම් ද, ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය කැමති සේ ලබන්නාහු නොවෙති. නිදුකින් ලබන්නාහු නොවෙති. ඉතා පහසුවෙන් ලබන්නාහු නොවෙති. එනිසා ය, මේ ආයුෂ්මතුන් වහන්සේලා ඇඟිලිවලින් කිතිකවමින්, මහ හඬින් සිනහසෙමින් ක්‍රීඩා කරන්නේ.’

3. නාගිතයෙනි, මෙහිලා මම කැමති තාක් කුස පුරා අනුභව කොට, සයන සුඛයෙහි, ස්පර්ශ සුඛයෙහි, නිදි සුඛයෙහි යෙදී වාසය කරන භික්ෂූන් දකිමි. එවිට නාගිතයෙනි, මට මේ අදහස ඇතිවෙයි. ‘මම යම්බඳු නෙක්ඛම්ම සුවයක්, පවිවේක සුවයක්, සංසිඳුණු සුවයක්, සම්බෝධ සුවයක් කැමති සේ ලබන්නෙම් ද, නිදුකින් ලබන්නෙම් ද, ඉතා පහසුවෙන් ලබන්නෙම් ද, ඒකාන්තයෙන් මේ ආයුෂ්මතුන් වහන්සේලා මේ නෙක්ඛම්ම සුවය, පවිවේක සුවය, උපසම සුවය, සම්බෝධ සුවය කැමති සේ ලබන්නාහු නොවෙති. නිදුකින් ලබන්නාහු නොවෙති. ඉතා පහසුවෙන් ලබන්නාහු නොවෙති. එනිසා ය, මේ ආයුෂ්මතුන් වහන්සේලා කැමති තාක් කුස පුරා අනුභව කොට, සයන සුඛයෙහි, ස්පර්ශ සුඛයෙහි, නිදි සුඛයෙහි යෙදී වාසය කරන්නේ.’

4. නාගිතයෙනි, මෙහිලා මම භික්ෂුවක් දකිමි. ග්‍රාමාන්ත විහාරයක වාසය කරන ඒ භික්ෂුව සිත එකඟ කොට භාවනාවෙන් වාඩි වී සිටියි. එවිට නාගිතයෙනි, මට මේ අදහස ඇතිවෙයි. ‘දැන් ආරාමිකයෙක් වේවා, හෙරණක් වේවා, මේ ආයුෂ්මතුන් කරා පෙරලා පැමිණෙන්නේ ය. පැමිණ මේ ආයුෂ්මතුන් ඒ සමාධියෙන් බැහැර කරන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ ගමෙහි වාසය කිරීම ගැන සතුටට පත් නොවෙමි.

5. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි හිඳිමින් නිදිකිරා වැටෙනු දකිමි. එකල්හී නාගිතයෙනි, මට මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් මේ නිදිමත වෙහෙස දුරු කොට අරණ්‍ය සංඥාව ම මෙනෙහි කොට සිත එකඟ කරන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

6. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි එකඟ නොවූ සිතින් හිඳිනු දකිමි. එකල්හී නාගිතයෙනි, මට මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් එකඟ නොවූ හෝ සිත එකඟ කරන්නේ ය. එකඟ වූ හෝ සිත රැකගන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

7. නාගිතයෙනි, මම මෙහිලා අරණ්‍යයෙහි වාසය කරන භික්ෂුවක් අරණ්‍යයෙහි එකඟ වූ සිතින් හිඳිනු දකිමි. එකල්හී නාගිතයෙනි, මට මෙබඳු සිතක් වෙයි. ‘දැන් මේ ආයුෂ්මතුන් නීවරණයන්ගෙන් නිදහස් නොවූ සිත හෝ නිදහස් කරගන්නේ ය. නීවරණයන්ගෙන් නිදහස් වූ සිත හෝ රැකගන්නේ ය’ යි. එහෙයින් නාගිතයෙනි, මම ඒ භික්ෂුවගේ අරණ්‍යයෙහි වාසය කිරීම ගැන සතුටට පත් වෙමි.

8. නාගිතයෙනි, යම් කලෙක මම දීර්ඝ මාර්ගයෙහි ගමන් කරන්නෙම් ද, ඉදිරියේ හෝ පසු පස්සෙහි හෝ කිසිවෙක් පෙනෙන්නට නැත්නම්, නාගිතයෙනි, එසමයෙහි මා හට අඩු ගණනේ වැසිකිලි කැසිකිලි කරන්නට හෝ පහසුවක් ඇත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

නාගිත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M