අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.3. කිංමූලක සුත්තං

8.2.4.3. කුමක් මුල්වීමෙන් ද යනුවෙන් වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසත් නම්, එනම් ‘ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ කුමක් මුල්කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් හටගන්නාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකට එක් වී ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රමුඛ ව ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් සාර කොට ඇත්තාහු ද?’ මහණෙනි, මෙසේ අසන්නා වූ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට ඔබ කුමන පිළිතුරක් දෙන්නහු ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇත්තාහු ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහු ය. මේ වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් යහපති. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහු ය.”

“එසේ වී නම් මහණෙනි, අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ඉදින් මහණෙනි, අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ මෙසේ අසත් නම්, එනම් ‘ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ කුමක් මුල්කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමකින් හටගන්නාහු ද? සියළු ධර්මයෝ කුමකට එක් වී ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් ප්‍රමුඛ ව ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් අධිපති කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් උතුම් කොට ඇත්තාහු ද? සියළු ධර්මයෝ කුමක් සාර කොට ඇත්තාහු දැ’යි මහණෙනි, මෙසේ අසන්නා වූ ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හට මෙසේ පිළිතුරු දෙව්.

ආයුෂ්මත්නි, සියළු ධර්මයෝ කැමැත්ත මුල්කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ මනසිකාරය ප්‍රභව කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ ස්පර්ශයෙන් හටගත්තාහු ය. සියළු ධර්මයෝ විඳීම හා එක් වී ඇත්තාහු ය. සියළු ධර්මයෝ සමාධිය ප්‍රමුඛ ව ඇත්තාහු ය. සියළු ධර්මයෝ සිහිය අධිපති කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ ප්‍රඥාව උතුම් කොට ඇත්තාහු ය. සියළු ධර්මයෝ විමුක්තිය සාර කොට ඇත්තාහු ය.

මහණෙනි, ඔබෙන් ඔය අයුරින් අසන ලද ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන් හට මේ අයුරින් පිළිතුරු දෙව්.”

සාදු! සාදු!! සාදු!!!

කිංමූලක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M