අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.4.2. පුණ්ණිය සුත්තං

8.2.4.2. පුණ්ණිය තෙරුන්ට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ….(පෙ)…. එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ඇතැම් අවස්ථාවන්හී දී තථාගතයන් වහන්සේට ධර්මය දේශනාව වැටහෙන සේක් නම්, ඇතැම් අවස්ථාවන්හී දී නොවැටහෙන සේක් නම්, එයට හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද?”

“පුණ්ණිය, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙයි. එනමුදු තථාගතයන් වෙත නොඑළඹෙන්නේ නම්, ඒ තාක් තථාගතයන් හට ධර්ම දේශනාව නොවැටහෙයි. පුණ්ණිය, යම් කලක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වෙයි ද, තථාගතයන් වෙත එළඹෙන්නේ ත් වෙයි ද, මෙසේ තථාගතයන් හට ධර්ම දේශනාව වැටහෙයි.

පුණ්ණිය, භික්ෂුව ශ්‍රද්ධාවන්ත වෙයි. තථාගතයන් වෙත එළඹෙන්නේ ද වෙයි. එනමුත් ඇසුරු නොකරන්නේ වෙයි ….(පෙ)…. ඇසුරු කරන්නේ ද වෙයි. ප්‍රශ්න නොකරන්නේ වෙයි. ….(පෙ)…. ප්‍රශ්න කරන්නේ ද වෙයි. යොමු කළ කන් ඇති ව ධර්මය නොඅසන්නේ වෙයි. ….(පෙ)…. යොමු කළ කන් ඇති ව ධර්මය අසන්නේ ද වෙයි. ඇසූ දහම් නොදරන්නේ ද වෙයි. ….(පෙ)…. ඇසූ දහම් දරන්නේ ද වෙයි. එනමුත් දරන ලද ධර්මයන්ගේ අරුත් නොපිරික්සන්නේ වෙයි ….(පෙ)…. දරණ ලද ධර්මයන්ගේ අරුත් ද පිරික්සයි. එනමුත් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නොයෙදෙන්නේ වෙයි නම්, ඒ තාක් තථාගතයන් හට ධර්ම දේශනාව නොවැටහෙයි.

පුණ්ණිය, යම් කලක භික්ෂුව සැදැහැවත් වූයේ ත් වෙයි ද, තථාගතයන් වෙත එළඹෙන්නේ ත් වෙයි ද, ඇසුරු කරන්නේ ත් වෙයි ද, ප්‍රශ්න කරන්නේ ත් වෙයි ද, යොමු කළ කන් ඇති ව ධර්මය අසන්නේ ත් වෙයි ද, ඇසූ දහම් දරන්නේ ත් වෙයි ද, දරන ලද ධර්මයන්ගේ අරුත් පිරික්සන්නේ ත් වෙයි ද, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ ත් වෙයි ද, මෙසේ තථාගතයන් හට ධර්ම දේශනාව වැටහෙයි.

පුණ්ණිය, මේ ධර්මයන් අටෙන් යුක්ත වූ තැනැත්තාට තථාගතයන්ගේ ඒකාන්ත ප්‍රතිභානය ඇති ධර්ම දේශනාව වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පුණ්ණිය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M