සැවැත් නුවර දී ය …..
මහණෙනි, සිහි නුවණ නැති කල්හී, සිහි නුවණ නැති තැනැත්තා හට පවට ඇති ලැජ්ජා – භය යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
පවට ලැජ්ජා – භය නැති කල්හී, පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්රිය සංවරය යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
ඉන්ද්රිය සංවරය නැති කල්හී, ඉන්ද්රිය සංවරය නැති තැනැත්තා හට සීලය යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
සීලය නැති කල්හී, සිල් වැනසුන තැනැත්තා හට සම්මා සමාධිය යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
සම්මා සමාධිය නැති කල්හී, සම්මා සමාධිය නැති තැනැත්තා හට ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් නැති කල්හී, ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ නැති තැනැත්තා හට අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වීම යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම නැති කල්හී, අවබෝධයෙන් ම එපා වී නොඇල්ම ඇති නොවූ තැනැත්තා හට තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ගිලිහී ගිය අතුඉති ඇති, ගිලිහී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට නොයයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට නොයයි. එසෙයින් ම මහණෙනි, සිහි නුවණ නැති කල්හී, සිහි නුවණින් තොර තැනැත්තා හට පවට ලැජ්ජා – භය යනු නැසී ගිය හේතු සම්පත්තියකි. පවට ලැජ්ජා – භය නැති කල්හී පවට ලැජ්ජා භය නැති තැනැත්තා හට ඉන්ද්රිය සංවරය යනු නැසී ගිය හේතු සම්පත්තියකි. ….(පෙ)…. විමුක්ති ඥානදර්ශනය යනු නැසී ගිය හේතු සම්පත්තියකි.
මහණෙනි, සිහි නුවණ ඇති කල්හී, සිහි නුවණින් යුතු තැනැත්තා හට පවට ලැජ්ජා – භය යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
පවට ලැජ්ජා – භය ඇති කල්හී, පවට ලැජ්ජා භයෙන් යුතු තැනැත්තා හට ඉන්ද්රිය සංවරය යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
ඉන්ද්රිය සංවරය ඇති කල්හී, ඉන්ද්රිය සංවරයෙන් යුතු තැනැත්තා හට සීලය යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
මහණෙනි, සීලයෙන් යුක්ත වූ සිල්වත් තැනැත්තා හට සම්මා සමාධිය යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
සම්මා සමාධිය ඇති කල්හී, සම්මා සමාධියෙන් යුතු තැනැත්තා හට ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණ ඇති කල්හී, ඇත්ත ඇති සැටියෙන් ම දන්නා නුවණින් යුතු තැනැත්තා හට අවබෝධයෙන්ම එපා වී නොඇල්මට පත්වීම යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
අවබෝධයෙන් ම එපා වී නොඇල්මට පත්වීම ඇති කල්හී, අවබෝධයෙන් ම එපා වී නොඇල්මෙන් යුතු තැනැත්තා හට තමා සදහට ම නිදහස් වී ගිය බව දන්නා නුවණ යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මැනැවින් වැඩී ගිය අතුඉති ඇති, මැනැවින් වැඩී ගිය කොළ ඇති රුකක් ඇත්තේ ය. ඒ රුකෙහි පිට පොතු ත් වැඩී පිරිපුන් බවට යයි. ඇතුල් සිවිය ත්, එළය ත්, අරටුව ත් වැඩී පිරිපුන් බවට යයි. එසෙයින් ම මහණෙනි, සිහි නුවණ ඇති කල්හී, සිහි නුවණින් යුතු තැනැත්තා හට පවට ලැජ්ජා – භය ඇති බව යන හේතු සම්පත්තිය ඇති දෙයකි. පවට ලැජ්ජා – භය ඇති කල්හී, පවට ලැජ්ජා භයෙන් යුතු තැනැත්තා හට ඉන්ද්රිය සංවරය යන හේතු සම්පත්තිය ඇති දෙයකි. ….(පෙ)…. විමුක්ති ඥානදර්ශනය යන හේතු සම්පත්තිය ඇති දෙයකි.
සාදු! සාදු!! සාදු!!!
සතිසම්පජඤ්ඤ සූත්රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M