එක් සමයක භාග්‍යවතුන් වහන්සේ නාදිකා නම් ගමෙහි ගෙඩිගෙහි වාසය කරන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. ‘පින්වතුන් වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, මරණසතිය භාවිත කිරීමෙන්, බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවනට බැසගෙන ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය. මහණෙනි, කෙසේ භාවිත කරන ලද, කෙසේ බහුල ව ප්‍රගුණ කරන ලද මරණසතිය මහත්ඵල මහානිශංස ලැබ දෙන්නේ ද? නිවනට බැසගෙන ඇත්තේ, නිවන කෙළවර කොට ඇත්තේ ද?
මහණෙනි, මෙහිලා භික්ෂුව දහවල් ගෙවී ගොස් රැය එළැඹි කල්හී මෙසේ නුවණින් සළකයි. ‘මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය. පය පැකිළී හෝ මම වැටෙන්නෙම් නම්, අනුභව කළ බත් නොදිරවන්නේ නම්, මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය කිපෙයි නම්, මිනිස්සු හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, අමනුෂ්‍යයෝ හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, ඒ හේතුවෙන් මා මරණයට පත් විය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය’ වශයෙනි.
මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැළකිය යුත්තේ ය. ‘රාත්‍රියෙහි මරණයට පත්වන මා හට අන්තරායකර වූ යම් ඒ අකුසල ධර්මයෝ ඇද්ද, ඒවා මා තුළ අප්‍රහීණ ව තිබෙත් ද, ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘රාත්‍රියෙහි මරණයට පත් වෙන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ අප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය. මහණෙනි, යම් සේ ඇඳි වත ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඒ ඇඳි වත වේවා හිස වේවා නිවීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් කරන්නේ ද එසෙයින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය.
ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘රාත්‍රියෙහි මරණයට පත් වෙන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ ප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවින් ම දවල් රෑ දෙක්හි කුසල් දහම්හි හික්මෙමින් වාසය කළ යුත්තේ ය.
මහණෙනි, මෙහිලා භික්ෂුව රැය ගෙවී ගොස් දහවල් එළැඹි කල්හී මෙසේ නුවණින් සළකයි. ‘මාගේ මරණයට බොහෝ කාරණාවෝ තිබෙත්. සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ ය. එයින් මාගේ මරණය සිදුවිය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය. පය පැකිළී හෝ මම වැටෙන්නෙම් නම්, අනුභව කළ බත් නොදිරවන්නේ නම්, මාගේ පිත හෝ කිපෙයි නම්, මාගේ සෙම හෝ කිපෙයි නම්, ආයුධයක් සේ නපුරු ලෙස මාගේ වාතය කිපෙයි නම්, මිනිස්සු හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, අමනුෂ්‍යයෝ හෝ මාව මැරීමට උපක්‍රම කරත් නම්, ඒ හේතුවෙන් මා මරණයට පත් විය හැක්කේ ය. එය මට අනතුරක් විය හැක්කේ ය’ වශයෙනි.
මහණෙනි, ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැළකිය යුත්තේ ය. ‘දහවල්හි මරණයට පත්වන මා හට අන්තරායකර වූ යම් ඒ අකුසල ධර්මයෝ ඇද්ද, ඒවා මා තුළ අප්‍රහීණ ව තිබෙත් ද, ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘දහවල්හි මරණයට පත් වෙන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ අප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය. මහණෙනි, යම් සේ ඇඳි වත ගිනි ගත් කෙනෙක් හෝ හිස ගිනි ගත් කෙනෙක් හෝ ඒ ඇඳි වත වේවා හිස වේවා නිවීම පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් කරන්නේ ද එසෙයින් ම මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ පාපී අකුසල ධර්මයන්ගේ ප්රහාණය පිණිස ම අධිමාත්‍ර වූ කැමැත්තක් ද, වීර්යයක් ද, උත්සාහයක් ද, බලවත් උත්සාහයක් ද, අත්නොහරින උත්සාහයක් ද, සිහියක් ද, නුවණින් කටයුතු කිරීමක් ද කළ යුත්තේ ය.
ඉදින් මහණෙනි, භික්ෂුව නුවණින් සළකා බලද්දී මෙසේ දනියි නම්, එනම් ‘දහවල්හි මරණයට පත් වෙන මා හට අනතුරු පිණිස වූ පාපී අකුසල ධර්මයන් මා තුළ ප්‍රහීණ ව ඇත්තේ ය’ යි. මහණෙනි, ඒ භික්ෂුව විසින් ඒ ප්‍රීති ප්‍රමුදිත බවින් ම දවල් රෑ දෙක්හි කුසල් දහම්හි හික්මෙමින් වාසය කළ යුත්තේ ය.
මහණෙනි, මෙසේ මරණසතිය භාවිත කිරීමෙන්, මෙසේ බහුල ව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිශංස ලැබෙන්නේ ය. නිවනට බැසගෙන ඇත්තේ ය. නිවන කෙළවර කොට ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
දුතිය මරණසති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M