අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.3.5. පඨම සම්පදා සුත්තං

8.2.3.5. සම්පත්තිය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සම්පත් අටකි. ඒ කවර අටක් ද යත්;

නැගී සිටීමේ වීරිය නම් වූ උට්ඨාන සම්පදාව ය. රැක ගැනීම නම් වූ ආරක්ඛ සම්පදාව ය. කළණ මිතුරන් ඇති බව නම් වූ කල්‍යාණමිත්තතා ය. අය වැය හඳුනා දිවි ගෙවීම නම් වූ සමජීවිකතා ය. ශ්‍රද්ධා සම්පදාව ය. සීල සම්පදාව ය. චාග සම්පදාව ය. ප්‍රඥා සම්පදාව ය.

මහණෙනි, මේ වනාහී සම්පත් අට යි.

(ගාථා)

1. කර්මාන්ත කටයුතු වලදී නැගී සිටින වීරියෙන් යුතුව, අප්‍රමාදී ව සංවිධානය කරයි. සම සේ ජීවිතය පරිහරණය කරයි. සපයන ලද දේ රකියි.

2. ශ්‍රද්ධාවෙන් යුතු වූයේ, සීලයෙන් යුතු වූයේ, අනුන් ඉල්ලන දේ දන්නේ, පහවූ මසුරුමල ඇත්තේ, පරලොව සැප පිණිස ඇති මාර්ගය නිතර පිරිසිදු කරයි.

3. ගිහි ගෙදර වාසය කරන සැදැහැවත් කෙනා හට මෙලොව – පරලොව දෙකෙහි ම මේ අෂ්ට ධර්මයන් සැප ලබා දෙන බව සත්‍යනාම වූ බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය.

4. මෙලොවෙහි ද හිතසුව පිණිස, පරලොව ද හිතසුව පිණිස හේතුවන ත්‍යාගය මෙසේ මේ ගිහියන්ගේ පින දියුණු කරයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම සම්පදා සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M