අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.7. පඨම ආහුනෙය්‍යභික්ඛු සුත්තං

8.2.1.7. දන් පැන් පිදීමට සුදුසු භික්ෂුව ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය ……………….

මහණෙනි, කරුණු අටකින් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ….(පෙ)…. ශික්ෂා පදයන්හි සමාදන් ව හික්මෙයි. බහුශ්‍රැත වෙයි ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි. කළ්‍යාණ යහළුවන් ඇත්තේ, කළ්‍යාණ යහළුවන්ට නැඹුරු වූයේ, කළ්‍යාණ මිත්‍රයන් ඇත්තේ වෙයි. සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ, නිවැරදි දැක්මෙන් යුක්ත වූයේ වෙයි. ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු වූ මෙලොවදී ලබන සතරක් වූ ධ්‍යානයන් කැමති සේ ලබන්නේ, නිදුකින් ලබන්නේ, බොහෝ සේ ලබන්නේ වෙයි. අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, ….(පෙ)…. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ….(පෙ)…. කර්මානුරූප ව සුගතියේ ත් දුගතියේ ත් උපදින අයුරු දනියි. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මේ කරුණු අටන් සමන්විත වූ භික්ෂුව දන් පැන් පිදීමට සුදුසු වෙයි. ආගන්තුක සත්කාරයට සුදුසු වෙයි. පින් රැස්කරගැනීම පිණිස උපස්ථාන ලැබීමට සුදුසු වෙයි. වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වෙයි. ලෝකයාගේ අනුත්තර වූ පින් කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම ආහුනෙය්‍ය භික්ඛු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M