අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.2.1.6. කාමාධිවචන සුත්තං

8.2.1.6. කාමයන්ට කියන නම් ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, භය යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, දුක යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, රෝගය යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ගඬුව යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, හුල යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, ඇලීම යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, මඩ යනු මෙය කාමයන්ට කියන නමකි. මහණෙනි, මව්කුස යනු මෙය කාමයන්ට කියන නමකි.

මහණෙනි, කාමයන්ට මේ භය යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් හෙයකින් කාමරාගයෙන් ඇලී ගිය, ඡන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව භයෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව භයෙනුත් නිදහස් නොවෙයි නම්, එහෙයින් කාමයන්ට මේ භය යන නම යෙදෙයි.

මහණෙනි, කාමයන්ට මේ දුක යන නාමය ….(පෙ)…. රෝගය යන නාමය ….(පෙ)…. ගඬුව යන නාමය ….(පෙ)…. හුල යන නාමය ….(පෙ)…. ඇලීම යන නාමය ….(පෙ)…. මඩ යන නාමය ….(පෙ)…. මව්කුස යන නාමය තිබෙන්නේ කුමක් හෙයින් ද? මහණෙනි, යම් කාමරාගයකින් ඇලී ගිය, ඡන්දරාගයෙන් බැඳී ගිය කෙනෙකු මෙලොව මව්කුසෙනුත් නිදහස් නොවෙයි නම්, පරලොව මව්කුසෙනුත් නිදහස් නොවෙයි නම්, එහෙයින් කාමයන්ට මේ මව්කුස යන නම යෙදෙයි.

(ගාථා)

1. භය යනුවෙනුත්, දුක යනුවෙනුත්, රෝගය යනුවෙනුත්, ගඬුව යනුවෙනුත්, හුල යනුවෙනුත්, ඇලීම යනුවෙනුත්, මඩ යනුවෙනුත්, මව්කුස යනුවෙනුත්, මේ කාමයන්ට කියනු ලැබෙයි. පෘථග්ජන සත්වයා එහි ඇලී සිටිති.

2. මිහිරි වෙස් ගත් කාමයෙහි බැසගත් තැනැත්තා යළි මව්කුසක් කරා ම යයි. යම් කලක භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් විමසීම අත්නොහරියි ද,

3. ඔහු මේ කාමය නම් වූ එතෙර වීමට දුෂ්කර මහා මඩවල ඉක්මවා මෙබඳු වූ ජරා මරණයට බැස ගත් සැලෙමින් සිටින ප්‍රජාව දකියි.

සාදු! සාදු!! සාදු!!!

කාමාධිවචන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M