සැවැත් නුවර දී ය …….
එකල්හී උජ්ජය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාව කොට එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උජ්ජය බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, අපි පිට පළාතක වාසය කරන්නට යනු කැමැත්තෙමු. ඒ අපට යම් ධර්මයක් මෙලොවදී හිත පිණිස ත්, මෙලොව දී සැප පිණිස ත්, පරලොව හිත පිණිස ත්, පරලොව සැප පිණිස ත් හේතු වෙයි ද, එබඳු වූ ධර්මයක් භවත් ගෞතමයන් වහන්සේ වදාරණ සේක්වා!”
“බ්‍රාහ්මණය, මේ ධර්මයන් සතරක් කුල පුත්‍රයා හට මෙලොවදී හිත පිණිස ත්, මෙලොව දී සැප පිණිස ත් හේතු වෙයි. ඒ කවර සතරක් ද යත්; උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්‍යාණමිත්‍රතා සහ සමජීවිකතාව යි.
1. බ්‍රාහ්මණය, නැගී සිටීමේ සම්පත්තිය නම් වූ උට්ඨාන සම්පදාව යනු කුමක් ද?
බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයෙක් යම් කර්මාන්තයකින් ජීවිතය ගෙවයි නම්, එනම් ගොවිතැනින් වේවා, වෙළඳාමෙන් වේවා, ගවපාලනයෙන් වේවා, දුනු ශිල්පයෙන් වේවා, රාජ්‍ය සේවයෙන් වේවා, වෙනත් ශිල්පයකින් වේවා ජීවත් වෙයි නම්, එහිලා ඔහු දක්ෂ වෙයි. කම්මැලි නොවෙයි. ක්‍රමානුකූල ව කිරීමට, පිළිවෙලකට කිරීමට, උපාය වීමංසන කුසලතාවයෙන් යුක්ත වෙයි. බ්‍රාහ්මණය, මෙය නැගී සිටීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.
2. බ්‍රාහ්මණය, රැකීමේ සම්පත්තිය නම් වූ ආරක්ඛ සම්පදාව යනු කුමක් ද?
බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා හට නැගී සිටි වීරියෙන් යුතුව ලබන ලද, අතපය වෙහෙසීමෙන් රැස් කරන ලද, ඩහදිය හෙළා උපදවන ලද, ධාර්මික වූ, ධාර්මික ව ලැබුණු යම් දේපල වස්තුවක් ඇද්ද, ඒවාට නිසි ආරක්ෂාව ත්, රැකවරණය ත් යොදයි. එනම් ‘කිම, මාගේ මේ භෝගයෝ රජවරු පැහැර නොගනිත් නම්, සොරු පැහැර නොගනිත් නම්, ගින්නෙන් නොදැවෙයි නම්, ජලයෙන් ගසා ගෙන නොයයි නම්, අප්‍රියයෝ දායාද කර නොගනිත් නම් මැනැවැ’ යි. බ්‍රාහ්මණය, මෙය රැකීමේ සම්පත්තිය යැයි කියනු ලැබේ.
3. බ්‍රාහ්මණය, කල්‍යාණ මිත්‍රයන් සිටීම යනු කුමක් ද?
බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා යම් ගමක හෝ නියම් ගමක හෝ වසයි නම්, එහි යම් ඒ ගෘහපතීහු හෝ ගෘහපතිපුත්‍රයෝ හෝ මේරූ ගති ඇති තරුණයෝ වේවා, මේරූ ගති ඇති වැඩිහිටියෝ වේවා, ශ්‍රද්ධාවෙන් යුක්ත වෙත් ද, සීලයෙන් යුක්ත වෙත් ද, ත්‍යාගයෙන් යුක්ත වෙත් ද, ප්‍රඥාවෙන් යුක්ත වෙත් ද ඔවුන් සමඟ සිටියි. කතා බස් කරයි. සාකච්ඡාවන්ට පැමිණෙයි. යම්බඳු සැදැහැවත්වූවන්ගේ ශ්‍රද්ධා සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු සිල්වත් වූවන්ගේ සීල සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු ත්‍යාගී වූවන්ගේ ත්‍යාග සම්පත්තිය අනුව හික්මෙයි ද, යම්බඳු ප්‍රඥාවන්ත වූවන්ගේ ප්‍රඥා සම්පත්තිය අනුව හික්මෙයි ද, බ්‍රාහ්මණය, මෙය කල්‍යාණමිත්‍රයන් ඇති බව යැයි කියනු ලැබෙයි.
4. බ්‍රාහ්මණය, සමබර කොට ජීවත් වීම නම් වූ සමජීවිකතාව යනු කුමක් ද?
බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන, භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූ ත්, ඉතා පහත් නොවූ ත් සම වූ ජීවිතයක් ගෙවයි. මෙසේ ජීවත් වන කල්හී ‘මාගේ ආදායමට වියදම යටපත් කොට තිබෙයි. මාගේ වියදම ආදායම යටපත් නොකොට තිබෙයි’ කියා ය.
බ්‍රාහ්මණය, එය මෙබඳු දෙයකි. තරාදියක් අත ඇතියෙක් හෝ තරාදියක් තිබෙන්නාගේ අතවැසියෙක් හෝ තරාදිය ඔසොවා මෙපමණකින් පහත් වෙයි. මෙපමණකින් උස් වෙයි කියා දන්නේ ද, එසෙයින් ම බ්‍රාහ්මණය, කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන, භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූ ත්, ඉතා පහත් නොවූ ත් සම වූ ජීවිතයක් ගෙවයි. මෙසේ ජීවත් වන කල්හී ‘මාගේ ආදායමට වියදම යටපත් කොට තිබෙයි. මාගේ වියදම ආදායම යටපත් නොකොට තිබෙයි’ කියා ය.
ඉදින් බ්‍රාහ්මණය, මේ කුලපුත්‍රයා ස්වල්ප ආදායමක් ඇති ව උදාර ජීවිතයක් ගෙවයි නම්, ඔහුට ‘මේ කුලපුත්‍ර තෙමේ දිඹුල් කන්නැහේ භෝගයන් කනවා නොවැ’ යි කියන්නෝ සිටිති.
ඉදින් බ්‍රාහ්මණය, මේ කුලපුත්‍රයා සුවිශාල ආදායමක් ඇති ව දුක සේ ජීවිතය ගෙවයි නම්, ඔහුට ‘මේ කුලපුත්‍ර තෙමේ අනාථ මරණයකින් මැරෙන්නෙකු සෙයින් මැරෙන්නේ නොවැ’ යි කියන්නෝ සිටිති.
බ්‍රාහ්මණය, යම් කලක කුලපුත්‍රයා භෝග සම්පත්වල ආදායම ද දැන, භෝග සම්පත්වල වියදම ද දැන ඉතා මහත් නොවූ ත්, ඉතා පහත් නොවූ ත් සම වූ ජීවිතයක් ගෙවයි. මෙසේ ජීවත් වන කල්හී ‘මාගේ ආදායමට වියදම යටපත් කොට තිබෙයි. මාගේ වියදම ආදායම යටපත් නොකොට තිබෙයි’ කියා ය. බ්‍රාහ්මණය, මෙය සමජීවිකතාව යැයි කියනු ලැබෙයි.
බ්‍රාහ්මණය, මෙසේ උපදවා ගත් භෝග සම්පත්වල විනාශය පිණිස පවතින අපාය මුඛ සතරකි. එනම්, ස්ත්‍රී ධූර්තයෙක් වෙයි. සුරා සොඬෙක් වෙයි. සූදු කරුවෙක් වෙයි. පාපී යහළුවන් ඇති, පාපී යහළුවන්ට නැඹුරු වූ, පාපී මිතුරන් ඇත්තෙක් වෙයි.
බ්‍රාහ්මණය, යම්සේ මහත් වූ පොකුණකට ජලය එන මාර්ග ද සතරක් ම ඇත්තේ නම්, ජලය පිටවන මාර්ග ද සතරක් ම ඇත්තේ නම්, එහිලා පුරුෂයෙක් ඒ පොකුණෙහි ජලය එන මාර්ග වසන්නේ ය. ජලය පිටවෙන මාර්ග විවෘත කරන්නේ ය. වැස්ස ද මනාකොට නොවසින්නේ ය. බ්‍රාහ්මණය, මෙසේ ඇති කල්හී ඒ විශාල පොකුණට හානියක් ම කැමති විය යුත්තේ ය. අභිවෘද්ධියක් නොකැමති විය යුත්තේ ය.
එසෙයින් ම බ්‍රාහ්මණය, මෙසේ උපදවා ගත් භෝග සම්පත්වල විනාශය පිණිස පවතින අපාය මුඛ සතරකි. එනම්, ස්ත්‍රී ධූර්තයෙක් වෙයි. සුරා සොඬෙක් වෙයි. සූදු කරුවෙක් වෙයි. පාපී යහළුවන් ඇති, පාපී යහළුවන්ට නැඹුරු වූ, පාපී මිතුරන් ඇත්තෙක් වෙයි.
බ්‍රාහ්මණය, මෙසේ උපදවා ගත් භෝග සම්පත්වල විනාශ නොවීම පිණිස පවතින ආදායම එන මුඛ සතරකි. එනම්, ස්ත්‍රී ධූර්තයෙක් නොවෙයි. සුරා සොඬෙක් නොවෙයි. සූදු කරුවෙක් නොවෙයි. කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ යහළුවන්ට නැඹුරු වූ, කල්‍යාණ මිත්‍රයන් ඇත්තෙක් වෙයි.
බ්‍රාහ්මණය, මහත් වූ පොකුණකට ජලය එන මාර්ග ද සතරක් ම ඇත්තේ නම්, ජලය පිටවන මාර්ග ද සතරක් ම ඇත්තේ නම්, එහිලා පුරුෂයෙක් ඒ පොකුණෙහි ජලය එන මාර්ග විවෘත කරන්නේ ය. ජලය පිටවෙන මාර්ග වසන්නේ ය. වැස්ස ද මනාකොට වසින්නේ ය. බ්‍රාහ්මණය, මෙසේ ඇති කල්හී ඒ විශාල පොකුණට අභිවෘද්ධියක් ම කැමති විය යුත්තේ ය. හානියක් නොකැමති විය යුත්තේ ය.
එසෙයින් ම බ්‍රාහ්මණය, මෙසේ උපදවා ගත් භෝග සම්පත්වල විනාශ නොවීම පිණිස පවතින ආදායම එන මුඛ සතරකි. එනම්, ස්ත්‍රී ධූර්තයෙක් නොවෙයි. සුරා සොඬෙක් නොවෙයි. සූදු කරුවෙක් නොවෙයි. කල්‍යාණ යහළුවන් ඇති, කල්‍යාණ යහළුවන්ට නැඹුරු වූ, කලණ මිතුරන් ඇත්තෙක් වෙයි.
බ්‍රාහ්මණය, මේ සතර ධර්මයන් වනාහී කුල පුත්‍රයා හට මෙලොවදී හිත පිණිස ත්, මෙලොව දී සැප පිණිස ත් හේතු වෙයි.
බ්‍රාහ්මණය, මේ ධර්මයන් සතරක් කුලපුත්‍රයා හට පරලොවදී හිත පිණිස ත්, පරලොව දී සැප පිණිස ත් හේතු වෙයි. ඒ කවර සතරක් ද යත්; ශ්‍රද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය යි.
5. බ්‍රාහ්මණය, ශ්‍රද්ධා සම්පත්තිය යනු කුමක් ද?
බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා ශ්‍රද්ධාවන්ත වූයේ වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහා ගත්තේ වෙයි. එනම්, ‘මේ මේ කරුණෙනුත් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. බ්‍රාහ්මණය, මෙය ශ්‍රද්ධා සම්පත්තිය යැයි කියනු ලැබේ.
6. බ්‍රාහ්මණය, සීල සම්පත්තිය යනු කුමක්ද? බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා සතුන් මැරීමෙන් වැළකුණේ වෙයි. සොරකමින් වැළකුණේ වෙයි. වැරදි කාම සේවනයෙන් වැළකුණේ වෙයි. බොරු කීමෙන් වැළකුණේ වෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණේ වෙයි. බ්‍රාහ්මණය, මෙය සීල සම්පත්තිය යැයි කියනු ලැබේ.
7. බ්‍රාහ්මණය, ත්‍යාග සම්පත්තිය යනු කුමක්ද? බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා මසුරුමල බැහැර කළ සිතින් යුතුව ගිහිගෙදර වාසය කරයි. දන් පැන් දීම පිණිස නොබැඳුණු සිතින් යුතු වෙයි. දෙන්නට සූදානම් වූ අත් ඇති ව සිටියි. දීමෙහි ඇලුනේ වෙයි. තමාගෙන් ඉල්ලීමට සුදුසු වූයේ වෙයි. දන් දීමෙහි බෙදීමෙහි ඇලුනේ වෙයි. බ්‍රාහ්මණය, මෙය ත්‍යාග සම්පත්තිය යැයි කියනු ලැබේ.
8. බ්‍රාහ්මණය, ප්‍රඥා සම්පත්තිය යනු කුමක් ද? බ්‍රාහ්මණය, මෙහිලා කුලපුත්‍රයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. බ්‍රාහ්මණය, මෙය ප්‍රඥා සම්පත්තිය යැයි කියනු ලැබේ.
බ්‍රාහ්මණය, මේ සතර ධර්මයන් වනාහී කුලපුත්‍රයා හට පරලොවදී හිත පිණිස ත්, පරලොව දී සැප පිණිස ත් හේතු වෙයි.
(ගාථා)
1. කර්මාන්ත කටයුතු වලදී නැගී සිටින වීරියෙන් යුතුව, අප්‍රමාදී ව සංවිධානය කරයි. සම සේ ජීවිතය පරිහරණය කරයි. සපයන ලද දේ රකියි.
2. ශ්‍රද්ධාවෙන් යුතු වූයේ, සීලයෙන් යුතු වූයේ, අනුන් ඉල්ලන දේ දන්නේ, පහවූ මසුරුමල ඇත්තේ, පරලොව සැප පිණිස ඇති මාර්ගය නිතර පිරිසිදු කරයි.
3. ගිහි ගෙදර වාසය කරන සැදැහැවත් කෙනා හට මෙලොව – පරලොව දෙකෙහි ම මේ අෂ්ට ධර්මයන් සැප ලබා දෙන බව සත්‍යනාම වූ බුදුරජුන් විසින් වදාරණ ලද්දේ ය.
4. මෙලොවෙහි ද හිතසුව පිණිස, පරලොව ද හිතසුව පිණිස හේතුවන ත්‍යාගය මෙසේ මේ ගිහියන්ගේ පින දියුණු කරයි.
සාදු! සාදු!! සාදු!!!
උජ්ජය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M