අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.4.5. දානූපපත්ති සුත්තං

8.1.4.5. දානයෙන් ලැබෙන ඉපදීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ දානයෙන් ලැබෙන ඉපදීම් අටකි. ඒ කවර අටක් ද යත්;

1. මහණෙනි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු පංචකාම ගුණයෙන් යුතුව සතුටින් ඉඳුරන් පිනවන මහාසාර ක්ෂත්‍රියයන් හෝ මහාසාර බ්‍රාහ්මණයන් හෝ මහාසාර ගෘහපතියන් හෝ දකියි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු මහාසාර ක්ෂත්‍රියයන්ගේ හෝ මහාසාර බ්‍රාහ්මණයන්ගේ හෝ මහාසාර ගෘහපතියන්ගේ හෝ කුලයක උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. කය බිඳී මරණින් මතු මහාසාර ක්ෂත්‍රියයන්ගේ හෝ මහාසාර බ්‍රාහ්මණයන්ගේ හෝ මහාසාර ගෘහපතියන්ගේ හෝ කුලයක උපදියි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

2. මහණෙනි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘චාතුම්මහාරාජික දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදියි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

3.-7. මහණෙනි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘තව්තිසා දෙවිවරු ….(පෙ)…. යාම දෙවිවරු ….(පෙ)…. තුසිත දෙවිවරු ….(පෙ)…. නිම්මාණරතී දෙවිවරු ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙවියන් අතර උපදියි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය පිරිසිදු බැවින් ඉෂ්ට වෙයි.

8. මහණෙනි, මෙහිලා කෙනෙක් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දානයක් දෙයි. ආහාර පාන, වස්ත්‍ර, පාවහන්, මල්, ගඳ විලවුන්, සයනාසන, කුටි, ප්‍රදීපෝපකරණ ආදිය දන් දෙයි. ඔහු යමක් දෙයි නම්, එය නැවත ලැබීමට පතයි. ඔහු මෙය අසන ලද්දේ ය. එනම් ‘බ්‍රහ්මකායික දෙවිවරු දීර්ඝායුෂ ඇති ව සොඳුරු පැහැය ඇති ව සැප බහුල ව වසන බව යි.’ එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘අහෝ! ඒකාන්තයෙන් මම කය බිඳී මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් අතර උපදින්නේ නම් මැනැවැ’ යි සිතා ඔහු ඒ කෙරෙහි සිත පිහිටුවයි. ඒ සිත අධිෂ්ඨාන කරයි. ඒ සිත දියුණු කරයි. හීන වූ පංච කාමයෙහි යෙදුණු ඔහුගේ සිත මතුවට මාර්ගඵල අවබෝධය පිණිස දියුණු නොකළ හෙයින් එහි ඉපදීම පිණිස හේතු වෙයි. කය බිඳී මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන් අතර උපදියි. එය ත් සිල්වතාට යැයි කියමි. දුස්සීලයාට නොවෙයි. වීතරාගී තැනැත්තාට යැයි කියමි. සරාගී තැනැත්තාට නොවෙයි. මහණෙනි, සිල්වත් තැනැත්තාගේ සිතෙහි ඇති අධිෂ්ඨානය වීතරාගී බැවින් ඉෂ්ට වෙයි.

මහණෙනි, මේ වනාහී දානයෙන් ලැබෙන උපත් අට යි.

සාදු! සාදු!! සාදු!!!

දානූපපත්ති සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M