සැවැත් නුවර දී ය …..
මහණෙනි, අංග අටකින් යුක්ත වූ කුඹුරෙහි වපුරන ලද බීජය මහත්ඵල නොවෙයි. මහා රස ඇත්තේ නොවෙයි. වැඩෙන්නේ නොවෙයි. ඒ කවර අටඟින් සමන්විත කුඹුරක ද යත්;
මහණෙනි, මෙහිලා කුඹුරක් වළගොඩැලි ඇත්තේ වෙයි. ගල්, කුඩා ගල්, බොරළු ඇත්තේ වෙයි. කරමැටි ඇත්තේ වෙයි. ගැඹුරට නොසාන ලද්දේ වෙයි. දිය එන මාර්ග නැත්තේ වෙයි. දිය බසින මාර්ග නැත්තේ වෙයි. දිය ඇලි වලින් යුක්ත වූයේ නොවෙයි. නියර නැත්තේ වෙයි.
මහණෙනි, මෙසේ අංග අටකින් යුක්ත වූ කුඹුරෙහි වපුරන ලද බීජය මහත්ඵල නොවෙයි. මහා රස ඇත්තේ නොවෙයි. වැඩෙන්නේ නොවෙයි.
එසෙයින් ම මහණෙනි, අංග අටකින් සමන්විත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දෙන ලද දානය මහත්ඵල නොවෙයි. මහානිශංස නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. මහත් පැතිරීම් ඇත්තේ නොවෙයි. ඒ කවර අංග අටකින් යුතු කල්හි ද?
මහණෙනි, මෙහිලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මිසදිටු ගත්තෝ වෙති. මිථ්‍යා සංකල්ප ඇත්තෝ වෙති. මිථ්‍යා වචන ඇත්තෝ වෙති. මිථ්‍යා කායික ක්‍රියා ඇත්තෝ වෙති. මිථ්‍යා ජීවිකාව ඇත්තෝ වෙති. මිථ්‍යා උත්සාහය ඇත්තෝ වෙති. මිථ්‍යා සිහිය ඇත්තෝ වෙති. මිථ්‍යා සමාධිය ඇත්තෝ වෙති.
මහණෙනි, මෙසේ අංග අටකින් සමන්විත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දෙන ලද දානය මහත්ඵල නොවෙයි. මහානිශංස නොවෙයි. මහත් බැබලීම් ඇත්තේ නොවෙයි. මහත් පැතිරීම් ඇත්තේ නොවෙයි.
මහණෙනි, අංග අටකින් යුක්ත වූ කුඹුරෙහි වපුරන ලද බීජය මහත්ඵල වෙයි. මහා රස ඇත්තේ වෙයි. වැඩෙන්නේ වෙයි. ඒ කවර අටඟින් සමන්විත කුඹුරක ද යත්;
මහණෙනි, මෙහිලා කුඹුරක් වළගොඩැලි නැත්තේ වෙයි. ගල්, කුඩා ගල්, බොරළු නැත්තේ වෙයි. කරමැටි නැත්තේ වෙයි. ගැඹුරට සාන ලද්දේ වෙයි. දිය එන මාර්ග ඇත්තේ වෙයි. දිය බසින මාර්ග ඇත්තේ වෙයි. දිය ඇලි වලින් යුක්ත වූයේ වෙයි. නියර ඇත්තේ වෙයි.
මහණෙනි, මෙසේ අංග අටකින් යුක්ත වූ කුඹුරෙහි වපුරන ලද බීජය මහත්ඵල වෙයි. මහා රස ඇත්තේ වෙයි. වැඩෙන්නේ වෙයි.
එසෙයින් ම මහණෙනි, අංග අටකින් සමන්විත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දෙන ලද දානය මහත්ඵල වෙයි. මහානිශංස වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. ඒ කවර අංග අටකින් යුතු කල්හි ද?
මහණෙනි, මෙහිලා ශ්‍රමණ බ්‍රාහ්මණයෝ සම්දිටු ගත්තෝ වෙති. සම්‍යක් සංකල්ප ඇත්තෝ වෙති. සම්‍යක් වචන ඇත්තෝ වෙති. සම්‍යක් කායික ක්‍රියා ඇත්තෝ වෙති. සම්‍යක් ජීවිකාව ඇත්තෝ වෙති. සම්‍යක් උත්සාහය ඇත්තෝ වෙති. සම්‍යක් සිහිය ඇත්තෝ වෙති. සම්‍යක් සමාධිය ඇත්තෝ වෙති.
මහණෙනි, මෙසේ අංග අටකින් සමන්විත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් හට දෙන ලද දානය මහත්ඵල වෙයි. මහානිශංස වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.
(ගාථා)
1. යම් සේ සාරවත් කුඹුරෙහි වපුරන ලද බීජ සම්පත් ඇත්තේ ද, වැස්ස නිසි අයුරින් වසිනා කල්හී ධාන්‍ය සම්පත් උපදවා දෙයි.
2. ඒ කුඹුරට උවදුරු නැති බව නම් වූ සම්පත් ඇත්තේ ය. ගොයම වැඩෙන බවට සම්පත් ඇත්තේ ය. අස්වනු වැඩෙන බවට සම්පත් ඇත්තේ ය. ඒකාන්තයෙන් ම සරුඵල සම්පත් ඇත්තේ වෙයි.
3. එසෙයින් ම සිල්වතුන් උදෙසා දෙන ලද භෝජන සම්පත්තිය පුණ්‍ය සම්පත් ලබා දෙයි. ඔහු විසින් කරන ලද දෙය සාරවත් දෙයකි.
4. එහෙයින් සම්පත් කැමති ව මෙහිලා යහපත් කරුණින් යුතු පුද්ගල තෙමේ යහපත් කරුණින් යුතු දන් පිළිගන්නවුන් සේවනය කළ යුත්තේ ය. මෙසේ සම්පත් සමෘද්ධිමත් වෙයි.
5. විද්‍යාවෙන් හා චරණයෙන් යුතු චිත්ත සම්පත්තිය ලබා කර්ම සම්පත්තිය ද කරයි. අර්ථ සම්පත්තිය ද ලබයි.
6. ලෝකයෙහි සැබෑ තතු ඒ අයුරින් ම දැන දෘෂ්ටි සම්පත්තියට පැමිණෙන්නේ ය. මාර්ග සම්පත්තියට පැමිණ පිරිපුන් සිත් ඇති මනසින් යුතුව නිවන කරා යන්නේ ය.
7. සියළු කෙලෙස් මලකඩ කම්පා කොට නිර්වාණ සැපතට පැමිණ සියළු දුකින් මිදෙයි නම් ඒ විමුක්තිය සකල සම්පත්තිය වෙයි.
සාදු! සාදු!! සාදු!!!
ඛෙත්තූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-4-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M