සැවැත් නුවර දී ය …..
මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා ‘ලෝකය සුදුසු අවස්ථාවේ ඇත්තේ ය. ලෝකය සුදුසු අවස්ථාවේ ඇත්තේ යැ’ යි කියයි. එනමුදු හේ සුදුසු අවස්ථාව හෝ නුසුදුසු අවස්ථාව හෝ නොදනියි. මහණෙනි, නිවන් මගෙහි හැසිරෙන්නට කාලය නොවූ, නුසුදුසු වූ මේ අවස්ථා අටක් ඇත්තේ ය. ඒ කවර අටක් ද යත්;
1. මහණෙනි, මෙහිලා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් නිරයෙහි උපන්නේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පළමු අවස්ථාව යි.
2. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු දෙවෙනි අවස්ථාව යි.
3. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු තෙවෙනි අවස්ථාව යි.
4. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් එක්තරා දීර්ඝ ආයුෂ ඇති දෙව් ලොවක උපන්නේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සිව්වෙනි අවස්ථාව යි.
5. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී යම් තැනක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ගමනක් නැද්ද, එබඳු වූ අතිශයින් අඥාන වූ ම්ලේච්ඡ වූ ප්‍රත්‍යයන්ත ජනපදයන්හි මේ පුද්ගලයා ත් උපන්නේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පස්වෙනි අවස්ථාව යි.
6. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් විපරීත දැකුම් ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. ‘දුන් දෙයෙහි විපාක නැත. උපස්ථානයෙහි විපාක නැත. සේවයෙහි විපාක නැත. කුසල – අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොව ත් පරලොව ත් තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරයි ද, එබඳු වූ යහපත් මග ගිය, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත’ යන මිසදිටුව ගත්තේ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සයවෙනි අවස්ථාව යි.
7. තව ද මහණෙනි, ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් හේ ජඪ වූයේ, කෙළතොළු වූයේ, ප්‍රඥාවෙන් තොර වූයේ වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට අසමර්ථ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සත්වෙනි අවස්ථාව යි.
8. තව ද මහණෙනි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ ….(පෙ)…. දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි නූපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු නොලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. හේ ජඪ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥාවන්තයෙක් වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට සමර්ථ වෙයි. මහණෙනි, මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු අටවෙනි අවස්ථාව යි.
මහණෙනි, නිවන් මගෙහි හැසිරෙන්නට කාලය නොවූ, නුසුදුසු වූ මේ අවස්ථා අට ඇත්තේ ය.
මහණෙනි, බඹසරෙහි වසන්නට ඇත්තේ එක ම සුදුසු අවස්ථාවකි. එක ම කාලයකි. ඒ කවර එක ම අවස්ථාව ද යත්;
මහණෙනි, මෙහිලා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදූ වූ අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ බුද්ධ වූ භාග්‍යවත් වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. හේ ජඪ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥාවන්තයෙක් වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට සමර්ථ වෙයි. මහණෙනි, මේ වනාහී බඹසරෙහි වසන්නට ඇති එක ම සුදුසු අවස්ථාව යි. එක ම කාලය යි.
(ගාථා)
1. යම් කෙනෙක් මනුෂ්‍ය ආත්මභාවයක් ලබාගෙන මැනැවින් දේශනා කරන ලද සද්ධර්මය ත් ඇති කල්හී, ධර්මයෙහි හැසිරෙන්නට සුදුසු අවස්ථාව නොලබති නම්, ඔවුහු ඒ ක්ෂණ සම්පත්තිය ඉක්මවා යති.
2. නිවන් මගට අන්තරායකර වූ බොහෝ නුසුදුසු අවස්ථාවෝ වදාරණ ලද්දාහ. ඉතාම ත් කලාතුරකින් කිසියම් ම කාලයක තථාගතවරු ලෝකයෙහි පහළ වෙති.
3. මිනිසත් බව ලැබීම ත්, සද්ධර්මය දෙසීම ත් යන යමක් ලොවෙහි අතිශයින් ම දුර්ලභ වෙයි ද, ඒ දුර්ලභ වූ ක්ෂණ සම්පත්තිය ඔහුට මුණ ගැසුණේ ය. එහිලා තම යහපත කැමති මිනිසා විසින් උත්සාහ කිරීම ම මැනැවි.
4. සද්ධර්ම දෙසුම දැනගන්නේ ය. ‘ඔබට ලද ක්ෂණ සම්පත්තිය ඉක්ම යන්නට එපා’ ක්ෂණ සම්පත්තිය අත්හැර ගත් උදවිය නිරයෙහි වැටී ශෝක කරති.
5. මෙහි සද්ධර්ම නියාමය නම් වූ ආර්ය මාර්ගය වරදවා ගත්තේ නම්, වෙළඳාම වැරදුණු වෙළෙන්දෙකු සෙයින් බොහෝ කල් තැවෙන්නේ ය.
6. සද්ධර්මය වරදවා ගත් අවිද්‍යාවෙන් වැසී ගිය පුරුෂයා ඉපදෙන – මැරෙන සංසාරයෙහි බොහෝ කල් දුක් විඳ විඳ හැසිරෙන්නේ ය.
7. යම් කෙනෙක් මිනිස් බව ලැබ මනාකොට දේශනා කරන ලද සද්ධර්මය ත් ඇති කල්හී ශාස්තෘන් වහන්සේගේ වචනය අනුව කටයුතු කළාහු ද, කටයුතු කරන්නාහු ද, කටයුතු කරත් ද,
8. යම් කෙනෙක් ලෝකයෙහි ඇති අනුත්තර වූ නිවන් මගින් යුතු ක්ෂණ සම්පත්තිය අවබෝධ කළාහු ද, ඔවුහු තථාගතයන් වහන්සේ විසින් වදාළ මාර්ගයට පිළිපන්නාහු ය.
9. යම් කෙනෙක් සදහම් ඇස් ඇති ආදිච්ච බන්ධූන් වහන්සේ විසින් වදාරණ ලද ධර්මයට අනුව සංවර වී, වසාගත් දොරටු ඇති ව, හැම කල්හී සිහි නුවණින්, කෙලෙසුන්ගෙන් තෙත් නොවී වාසය කරන්නාහු ද,
10. යම් කෙනෙක් මාරයාගේ බල ප්‍රදේශය වූ සසර අනුව යන සියළු අනුසය සිඳ ආශ්‍රවයන් ක්ෂය කොට අරහත් ඵලයට පැමිණියාහු ද, ඔවුහු ඒකාන්තයෙන් දුකෙන් පිරුණු ලෝකයෙන් එතෙරට ගියාහු ය.
සාදු! සාදු!! සාදු!!!
අක්ඛණ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M