අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.3.8. ඛීණාසවබල සුත්තං

8.1.3.8. ක්ෂීණාශ්‍රව රහතුන්ගේ බලය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳ ගත්තේ ය. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“සාරිපුත්තයෙනි, යම් බලයකින් සමන්විත වූ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ගියාහු යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂයය ප්‍රතිඥා දෙයි නම්, ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ එබඳු වූ කොපමණ බල තිබේ ද?”

“ස්වාමීනී, යම් බලයකින් සමන්විත වූ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ගියාහු යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂයය ප්‍රතිඥා දෙයි නම්, ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ එබඳු වූ බල අටක් ඇත්තේ ය. ඒ කවර බල අටක් ද යත්,

1. ස්වාමීනී, මෙහිලා ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම සම්‍යක් ප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ වෙයි. ස්වාමීනී, යම් කරුණකින් ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් සියළු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම සම්‍යක් ප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ වෙයි ද, ස්වාමීනී, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වූයේ යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ බලයකි.

2. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් කාමයන් ගිනි අඟුරු වළක් උපමා කොට ඒ වූ සැටියෙන් ම සම්‍යක් ප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ වෙයි. ස්වාමීනී, යම් කරුණකින් ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් කාමයන් ගිනි අඟුරු වළක් උපමා කොට ඒ වූ සැටියෙන් ම සම්‍යක් ප්‍රඥාවෙන් මැනැවින් දක්නා ලද්දේ වෙයි ද, ස්වාමීනී, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වූයේ යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ බලයකි.

3. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙයි. විවේකයට තදින් ම යොමු වූයේ වෙයි. විවේකයට බර වූයේ වෙයි. කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙයි. පැවිද්දෙහි ඇලී ගියේ වෙයි. සියළු අයුරින් ආශ්‍රවයන් ඇති කරවන ධර්මයන්ගෙන් තොර වූයේ වෙයි. ස්වාමීනී, යම් කරුණකින් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ සිත විවේකයට නැඹුරු වූයේ වෙයි ද, විවේකයට තදින් ම යොමු වූයේ වෙයි ද, විවේකයට බර වූයේ වෙයි ද, කෙලෙසුන්ගෙන් දුරු වූයේ වෙයි ද, පැවිද්දෙහි ඇලී ගියේ වෙයි ද, සියළු අයුරින් ආශ්‍රවයන් ඇති කරවන ධර්මයන්ගෙන් තොර වූයේ වෙයි ද, ස්වාමීනී, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වූයේ යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ බලයකි.

4. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු, මැනැවින් වඩන ලද්දාහු වෙති. ස්වාමීනී, යම් කරුණකින් ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු, මැනැවින් වඩන ලද්දාහු වෙත් ද, ස්වාමීනී, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වූයේ යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ බලයකි.

5-8. තව ද ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් සතර ඉර්ධිපාදයෝ වඩන ලද්දාහු ….(පෙ)…. පංච ඉන්ද්‍රියයයෝ වඩන ලද්දාහු ….(පෙ)…. සප්ත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු ….(පෙ)…. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ, මැනැවින් වඩන ලද්දේ වෙයි. ස්වාමීනී, යම් කරුණකින් ක්ෂීණාශ්‍රව භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගිකා මාර්ගය මැනැවින් වඩන ලද්දේ වෙයි ද, ස්වාමීනී, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයන් ක්ෂය වූයේ යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිළිබඳ ව ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ බලයකි.

ස්වාමීනී, යම් බලයකින් සමන්විත වූ ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘මාගේ ආශ්‍රවයෝ ක්ෂය වී ගියාහු යැ’යි ආශ්‍රවයන්ගේ ක්ෂයය ප්‍රතිඥා දෙයි නම්, ක්ෂීණාශ්‍රව භික්ෂුවගේ එබඳු වූ මේ බල අට ඇත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

ඛීණාසවබල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M