අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.3.10. අනුරුද්ධ සුත්තං

8.1.3.10. අනුරුද්ධ තෙරුන්ට වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාර ගිරියෙහි භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ චේති ජනපදයෙහි පාචීනවංශ වනයෙහි වැඩවෙසෙන සේක. එකල්හී හුදෙකලාවෙහි භාවනාවෙන් සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිතෙහි මෙබඳු චිත්ත පරිවිතර්කයක් ඇතිවූයේ ය.

‘මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය, ලාමක ආශාවෙන් යුතු පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටු වන තැනැත්තාට ය. ලද දෙයින් අසතුටු වන පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුනු තැනැත්තා සඳහා ය, පිරිස සමඟ ඇලුනු පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තා සඳහා ය, කුසීත පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තා සඳහා ය, මුළා සිහි ඇති පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තා සඳහා ය, එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි.’

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ සිතෙහි ඇති වූ අදහස් තම සිතින් දැන බලවත් පුරුෂයෙක් දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, හැකිලූ අතක් දිග හරින්නේ යම් සේ ද, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භේසකලා වනයෙහි මිගදායෙන් නොපෙනී ගොස් චේති ජනපදයෙහි පාචීනවංසදායෙහි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් ඉදිරියෙහි පහළ වූ සේක.

භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“යහපති, යහපති, අනුරුද්ධයෙනි. අනුරුද්ධයෙනි, ඔබ මහා පුරුෂයෙකුගේ විතර්ක කළ අයුරු යහපති. ‘මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය, ලාමක ආශාවෙන් යුතු පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටුවෙන තැනැත්තා සඳහා ය, ලද දෙයින් අසතුටු වන පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුනු තැනැත්තා සඳහා ය, පිරිස සමඟ ඇලුනු පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තා සඳහා ය, කුසීත පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තා සඳහා ය, මුළා සිහි ඇති පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තා සඳහා ය, එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි.’

එසේ වී නම් අනුරුද්ධයෙනි, ඔබ මේ අටවෙනි වූ මහාපුරුෂ විතර්කය ත් විතර්ක කරව. එනම් ‘මේ ධර්මය තිබෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුනු තැනැත්තාට ය. කෙලෙස් ඇතිවන අයුරින් සිත සිතා ප්‍රපංචයන්හි ඇලුනු පුද්ගලයාට නොවෙයි.’

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, එකල්හී ඔබ අනුරුද්ධයෙනි, යම්තාක් කැමති වන්නෙහි නම් කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙහි ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, එකල්හී ඔබ අනුරුද්ධයෙනි, යම්තාක් කැමති වන්නෙහි නම් විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙහි ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, එකල්හී ඔබ අනුරුද්ධයෙනි, යම්තාක් කැමති වන්නෙහි නම් ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි ද, කයෙන් සැපයක් ද විඳියි ද, ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙහි ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, එකල්හී ඔබ අනුරුද්ධයෙනි, යම්තාක් කැමති වන්නෙහි නම් සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙහි ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, මේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් ද, කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නෙහි ද, එකල්හී අනුරුද්ධයෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ නා නා සායම් පෙවූ වස්ත්‍රයෙන් පිරුණු පෙට්ටගමක් යම් සේ ප්‍රිය වෙයි ද, එසෙයින් ම ඔබට ලද දෙයින් සතුටු වී වාසය කිරීම පිණිස, තෘෂ්ණාවට බිය නොවීම පිණිස, පහසු විහරණය පිණිස, නිවනෙහි බැස ගැනීම පිණිස, සිවුරු අතුරින් පාංශුකූල සිවුර ම මැනැවැ යි වැටහෙන්නේ ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් විතර්ක කරන්නෙහි ද, මේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් ද, කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නෙහි ද, එකල්හී අනුරුද්ධයෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ නොයෙක් සූපයෙන් යුතු, නොයෙක් ව්‍යංජනයෙන් යුතු බැහැර කළ කළු ඇට ඇති ඇල් හාලේ බතක් යම් සේ ප්‍රිය වෙයි ද, එසෙයින් ම ඔබට ලද දෙයින් සතුටු වී වාසය කිරීම පිණිස, තෘෂ්ණාවට බිය නොවීම පිණිස, පහසු විහරණය පිණිස, නිවනෙහි බැස ගැනීම පිණිස බොජුන් අතුරින් පිඬු සිඟීමෙන් ලත් ආහාරය මැනැවැ යි වැටහෙන්නේ ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් ද විතර්ක කරන්නෙහි ද, මේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් ද, කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නෙහි ද, එකල්හී අනුරුද්ධයෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ඇතුළත පිටත හොඳින් පිරියම් කරන ලද, සුළං වැළකූ ජනෙල් කවුළු ඇති, පියන් වැසූ දොර ඇති, උස් මුදුන් වහළ ඇති කූටාගාරය යම් සේ ප්‍රිය වෙයි ද, එසෙයින් ම ඔබට ලද දෙයින් සතුටු වී වාසය කිරීම පිණිස, තෘෂ්ණාවට බිය නොවීම පිණිස, පහසු විහරණය පිණිස, නිවනෙහි බැස ගැනීම පිණිස සෙනසුන් අතුරින් රුක් සෙවණ සෙනසුන කරගැනීම මැනැවැ යි වැටහෙන්නේ ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් ද විතර්ක කරන්නෙහි ද, මේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් ද, කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නෙහි ද, එකල්හී අනුරුද්ධයෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ සොඳුරු පළස් අතුරන ලද, සුදු එළුලොම් අතුරන ලද, සිනිදු පුළුන් වලින් කරන ලද, කදලි මෘගයන්ගේ සමින් කරන ලද උතුම් ඇතිරිලි අතුරන ලද, උඩු වියන් සහිත වූ, හිසට ත් – පයට ත් විල්ලුද කොට්ට ඇති යහන යම් සේ ප්‍රිය වෙයි ද, එසෙයින් ම ඔබට ලද දෙයින් සතුටු වී වාසය කිරීම පිණිස, තෘෂ්ණාවට බිය නොවීම පිණිස, පහසු විහරණය පිණිස, නිවනෙහි බැස ගැනීම පිණිස සයනාසන අතුරින් බිම තණ පැදුරෙහි සැතැපීම මැනැවැ යි වැටහෙන්නේ ය.

අනුරුද්ධයෙනි, යම් කලක ඔබ මේ අෂ්ට මහා පුරුෂ විතර්කයන් ද විතර්ක කරන්නෙහි ද, මේ ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු, මෙලොව දී ලබන සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් ද, කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නෙහි ද, එකල්හී අනුරුද්ධයෙනි, ගෘහපතියෙකුට හෝ ගෘහපති පුත්‍රයෙකුට හෝ ගිතෙල්, වෙඬරු, තෙල්, මී පැණි, උක් සකුරු යනාදී නා නා බෙහෙත් යම් සේ ප්‍රිය වෙයි ද, එසෙයින් ම ඔබට ලද දෙයින් සතුටු වී වාසය කිරීම පිණිස, තෘෂ්ණාවට බිය නොවීම පිණිස, පහසු විහරණය පිණිස, නිවනෙහි බැස ගැනීම පිණිස බෙහෙත් අතුරින් පූතිමුත්ත භේසජ්ජය මැනැවැ යි වැටහෙන්නේ ය.

එසේ වී නම් අනුරුද්ධයෙනි, ඔබ චේති ජනපදයෙහි මේ පාචීනවංශ මිගදායෙහි ම මීළඟ වස් කාලය ද වාසය කරන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මේ අවවාදයෙන් අවවාද කොට බලවත් පුරුෂයෙක් දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, හැකිලූ අතක් දිග හරින්නේ යම් සේ ද, එසෙයින් ම චේති ජනපදයෙහි පාචීනවංසදායෙන් නොපෙනී ගොස් භග්ග ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භේසකලා වනයෙහි මිගදායෙහි පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඇමතූ සේක.

“මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්කයන් දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අෂ්ට මහා පුරුෂ විතර්ක යනු මොනවා ද?

මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය, ලාමක ආශාවෙන් යුතු පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටුවෙන තැනැත්තා සඳහා ය, ලද දෙයින් අසතුටු වන පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුනු තැනැත්තා සඳහා ය, පිරිස සමඟ ඇලුනු පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තා සඳහා ය, කුසීත පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තා සඳහා ය, මුළා සිහි ඇති පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තා සඳහා ය, එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි. මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුනු තැනැත්තාට ය. කෙලෙස් ඇතිවන අයුරින් සිත සිතා ප්‍රපංචයන්හි ඇලුනු පුද්ගලයාට නොවෙයි.

1. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය, ලාමක ආශාවෙන් යුතු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුවක් අල්පේච්ඡ වූයේ අන්‍යයෝ අල්පේච්ඡයෙකු වශයෙන් මාව දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. ලද දෙයින් සතුටු වන්නේ අන්‍යයෝ මාව ලද දෙයින් සතුටු වන්නෙකු වශයෙන් දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. හුදෙකලා විවේකයෙන් වසන්නේ අන්‍යයෝ මාව හුදෙකලා විවේකයෙන් වසන බව දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. පටන්ගත් වීරියෙන් යුතු වන්නේ අන්‍යයෝ මාව පටන්ගත් වීරිය ඇත්තෙකි යි දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. එළඹ සිටි සිහි ඇත්තේ අන්‍යයෝ මාව එළඹ සිටි සිහි ඇත්තෙකි යි දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. සමාහිත සිත් ඇත්තේ අන්‍යයෝ මාව සමාහිත සිත් ඇත්තෙකි යි දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. ප්‍රඥාවන්ත වූයේ අන්‍යයෝ මාව ප්‍රඥාවන්තයෙකි යි දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි. ප්‍රපංච රහිත නිවනෙහි ඇලුනේ අන්‍යයෝ මාව ප්‍රපංච රහිත නිවනෙහි ඇලුනෙකි යි දැනගන්නාහු නම් මැනැවැයි කැමති නොවෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තා සඳහා ය, ලාමක ආශාවෙන් යුතු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

2. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටුවෙන තැනැත්තා සඳහා ය, ලද දෙයින් අසතුටු වන පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ලද දෙයින් සතුටු වෙයි. තමන් හට ලැබෙන සිවුරකින්, සෙනසුනකින්, පිණ්ඩපාතයකින්, ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටුවෙන තැනැත්තා සඳහා ය, ලද දෙයින් අසතුටු වන පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

3. මහණෙනි, ‘මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුනු තැනැත්තා සඳහා ය, පිරිස සමඟ ඇලුනු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා හුදෙකලා විවේකයෙන් වාසය කරන භික්ෂුව වෙත භික්ෂු, භික්ෂුණීහු, උපාසක, උපාසිකා, රජවරු, රාජමහාමාත්‍යවරු, තීර්ථකයෝ, තීර්ථක ශ්‍රාවකයෝ පැමිණෙති. එහිදී භික්ෂුව විවේකයට නැමුණු, විවේකයෙහි යෙදුණු, විවේකයට බර වූ, විවේකයෙහි පිහිටි, නෙක්ඛම්මයට ඇලුනු සිතින් යුතුව ම ඔවුන් සමඟ එයට ගැලපෙන කතාවක් ම කරන්නෙක් වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුනු තැනැත්තා සඳහා ය, පිරිස සමඟ ඇලුනු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

4. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තා සඳහා ය, කුසීත පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති තැනැත්තා සඳහා ය, කුසීත පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

5. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තා සඳහා ය, මුළා සිහි ඇති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ එළඹ සිටි සිහි ඇති තැනැත්තා සඳහා ය, මුළා සිහි ඇති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

6. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තා සඳහා ය, එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නේ වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ සමාහිත සිත් ඇති තැනැත්තා සඳහා ය, එකඟ නොවූ සිත් ඇති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

7. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත තැනැත්තා සඳහා ය, ප්‍රඥාව නැති පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.

8. ‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුනු තැනැත්තාට ය. කෙලෙස් ඇතිවන අයුරින් සිත සිතා ප්‍රපංචයන්හි ඇලුනු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කුමක් පිණිස කියන ලද්දේ ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුවගේ සිත ප්‍රපංච නිරෝධය නම් වූ නිවනෙහි බැස ගනියි. එහි ම පහදියි. එහි ම සිටියි. ඒ තුළ ම කෙලෙසුන්ගෙන් නිදහස් වෙයි.

‘මහණෙනි, මේ ධර්මය තිබෙන්නේ ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුනු තැනැත්තාට ය. කෙලෙස් ඇතිවන අයුරින් සිත සිතා ප්‍රපංචයන්හි ඇලුනු පුද්ගලයාට නොවෙයි’ යනුවෙන් යම් වචනයක් කියන ලද්දේ නම්, එය කියන ලද්දේ මෙකරුණ සඳහා ය.”

එකල්හී ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ඉදිරියෙහි වූ වස් වැසීම ද චේති ජනපදයෙහි පාචීනවංස මිගදායෙහි ම කළ සේක. ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ තනි ව, හුදෙකලාව, අප්‍රමාදී ව, කෙලෙස් තවන වීරිය ඇති ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා නැති ව වාසය කරමින් සුළු කලකින් ම යම් අරුතක් උදෙසා කුලපුත්‍රයෝ මනාකොට ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙත් ද, ඒ බඹසරෙහි නිමාව වූ අනුත්තර වූ නිර්වාණය මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළහ. ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැනගත්හ.

ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ද එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත්වූහ. එකල්හී අරහත්වයට පත් ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ එවේලෙහි මේ ගාථාවන් වදාළහ.

(ගාථා)

1. ලෝකයෙහි අනුත්තර වූ ශාස්තෘන් වහන්සේ මාගේ සංකල්ප දැන මනෝමය කයින්, ඉර්ධිබලයෙන් මා වෙත වැඩම කළ සේක.

2. මාගේ සිතෙහි සංකල්ප තිබුණේ යම් අයුරකින් ද, එයට ත් වැඩියෙන් දෙසූ සේක. ප්‍රපංච රහිත වූ නිවනෙහි ඇලුනු බුදුරජාණෝ ප්‍රපංච රහිත නිර්වාණය දෙසූ සේක.

3. උන්වහන්සේගේ ධර්මය දැන බුදු සසුනෙහි ඇලී මම වාසය කළෙමි. ත්‍රිවිද්‍යාව ලබාගත්තෙමි. බුදුරජුන්ගේ සසුන කරන ලද්දේ ය.

සාදු! සාදු!! සාදු!!!

අනුරුද්ධ සූත්‍රය නිමා විය.

තුන්වෙනි ගහපති වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

උග්ග සූත්‍ර දෙක, හත්ථක සූත්‍ර දෙක, මහානාම සූත්‍රය, ජීවක සූත්‍රය, බල සූත්‍ර දෙක, අක්ඛණ සූත්‍රය සහ අනුරුද්ධ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයෙකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-3-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M