අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.5. මල සුත්තං

8.1.2.5. මලකඩ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ මලකඩ අටකි. ඒ කවර අටක් ද යත්;

මහණෙනි, නිතර සජ්ඣායනා නොකිරීම මන්ත්‍රයන්ට මලකඩකි. මහණෙනි, ගිහි ගෙදරට නැගී සිටි වීරිය නැතිකම මලකඩකි. මහණෙනි, සිරුරු පැහැයට කුසීතකම මලකඩකි. මහණෙනි, යම් දෙයක් රකින කෙනාට ප්‍රමාද වීම මලකඩකි. මහණෙනි, ස්ත්‍රියට දුෂ්චරිතය මලකඩකි. මහණෙනි, දන්දෙන්නාට මසුරුකම මලකඩකි. මහණෙනි, පාපී අකුසල් දහම් මෙලොවට ත්, පරලොවට ත් මලකඩකි. මහණෙනි, ඒ මලකඩට ත් වඩා අධිකතර වූ දරුණු ම මලකඩ නම් අවිද්‍යාව යි.

මහණෙනි, මේ වනාහී අටක් වූ මලකඩ යි.

(ගාථා)

1. නිතර සජ්ඣායනා නොකිරීම මන්ත්‍රයන්ට මලකඩකි. නැගී සිටි වීරිය නැතිකම ගෘහයට මලකඩකි. ශරීර පැහැයට කුසීත බව මලකඩකි. යමක් රකින්නහුට ප්‍රමාදය මලකඩකි.

2. ස්ත්‍රියට දුසිරිත මලකඩකි. දන්දෙන්නාට මසුරු බව මලකඩකි. මෙලොවට ත් පරලොවට ත් ඒකාන්තයෙන් ම පාපී අකුසල ධර්මයන් මලකඩකි. එයට ත් වඩා අධිකතර දරුණු ම මලකඩ යනු අවිද්‍යාව යි.

සාදු! සාදු!! සාදු!!!

මල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M