සැවැත් නුවර දී ය …..
මහණෙනි, පහත් වර්ගයේ අශ්වයන් අට දෙනෙක් ගැන ද, අශ්ව දෝෂ අටක් ගැන ද, පහත් වර්ගයේ පුරුෂයන් අට දෙනෙක් ගැන ද, පුරුෂ දෝෂ අටක් ගැන ද දේශනා කරන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, පහත් වර්ගයේ අශ්වයන් අට දෙනා කවුද? අශ්ව දෝෂ අට මොනවා ද?
1. මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පිටුපසට ඇදෙයි. තම පිටෙන් රථය පෙරළයි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ පළමු වෙනි අශ්ව දෝෂය යි.
2. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පසු දෙපා ඔසොවා පහර දෙයි. රථයේ බෝන් ලීය බිඳියි. දඬු තුන බිඳියි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ දෙවෙනි අශ්ව දෝෂය යි.
3. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, හිස නමා රථය බිම හෙළා කලවයෙන් රිය හිසට පහර දී පෙර දෙපයින් රියහිස මඩිමින් සිටියි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ තුන්වෙනි අශ්ව දෝෂය යි.
4. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පාරෙන් පිට පැන කඳු ගැටයකට හෝ කටුලැහැබකට හෝ නොමගට හෝ යයි. රථය නොමගකට ගන්නා ලද්දක් කරයි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ සිව්වෙනි අශ්ව දෝෂය යි.
5. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පෙර කය ඉදිරියට ගනියි. පෙර පාද දැඩිකොට ගනියි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ පස්වෙනි අශ්ව දෝෂය යි.
6. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පුහුණුකරු සිහි නොකොට, කෙවිට ද සිහි නොකොට දතින් කටකලියාව ඩැහැගෙන කැමති තැනකට යයි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ හයවෙනි අශ්ව දෝෂය යි.
7. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, ඉදිරියට ත් නොයයි. පසුපසට ත් නොයයි. ටැඹක් සේ නිශ්චල ව දැඩිකොට සිටියි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ සත්වෙනි අශ්ව දෝෂය යි.
8. තව ද මහණෙනි, මෙහිලා ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පෙර පා ත් හකුළුවා, පසු පා ත් හකුළුවා එතැන ම සතර පා මැඩ හිඳගනියි. මහණෙනි, මෙලොවෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් වෙයි. මහණෙනි, මේ අටවෙනි අශ්ව දෝෂය යි.
මහණෙනි, මේ වනාහී පහත් වර්ගයේ අශ්වයන් අට දෙනා ය. අශ්ව දෝෂ අට මේවා ය.
මහණෙනි, පහත් වර්ගයේ පුරුෂයින් අට දෙනා කවුද? පුරුෂ දෝෂ අට මොනවා ද?
1. මහණෙනි, මෙහිලා භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව ‘සිහි නොකරමි’ යි අසිහියෙන් චෝදනාවෙහි වෙළුම් හරියි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පිටුපසට ඇදෙයි ද, තම පිටෙන් රථය පෙරළයි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ පළමු වෙනි පුරුෂ දෝෂය යි.
2. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව චෝදකයාට ම විරුද්ධ ව සිටියි. ‘කිම? බාල වූ අව්‍යක්ත වූ තොපගේ කතාවෙන් කවර ප්‍රයෝජනයක් ද? තොප ත් කරුණු කිව යුත්තෙකු කොට හඟනෙහි ද?’ යනුවෙනි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පසු දෙපා ඔසොවා පහර දෙයි ද, රථයේ බෝන් ලීය බිඳියි ද, දඬු තුන බිඳියි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ දෙවෙනි පුරුෂ දෝෂය යි.
3. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව චෝදකයාට ම පෙරළා චෝදනා කරයි. ‘තොප ත් මෙනම් ආපත්තියට පැමිණුනා නොවැ. පළමුවෙන් ඔබ එයට පිළියම් කරගනු’ යනුවෙනි. යම් සේ මහණෙනි, පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, හිස නමා රථය බිම හෙළා කලවයෙන් රිය හිසට පහර දී පෙර දෙපයින් රියහිස මඩිමින් සිටියි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ තුන්වෙනි පුරුෂ දෝෂය යි.
4. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව වෙනත් වෙනත් කරුණු වලින් එය වසයි. බාහිර කතාවකට පටලවයි. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ කරයි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පාරෙන් පිට පැන කඳු ගැටයකට හෝ කටුලැහැබකට හෝ නොමගට හෝ යයි ද, රථය නොමගකට ගන්නා ලද්දක් කරයි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ සිව්වෙනි පුරුෂ දෝෂය යි.
5. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව සංඝයා මැද අත් වීසි කරමින් කතා කරයි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පෙර කය ඉදිරියට ගනියි ද, පෙර පාද දැඩිකොට ගනියි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ පස්වෙනි පුරුෂ දෝෂය යි.
6. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව සංඝයා ගැන සිහි නොකොට, චෝදකයා සිහි නොකොට, ඇවතින් යුක්ත ව ම කැමති සේ වෙනත් තැනකට යයි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පුහුණුකරු සිහි නොකොට, කෙවිට ද සිහි නොකොට දතින් කටකලියාව ඩැහැගෙන කැමති තැනකට යයි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ සයවෙනි පුරුෂ දෝෂය යි.
7. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව ‘මම ඇවතකට පත් වූ කෙනෙක් නොවෙමි. මම වනාහී ඇවතකට පත් කෙනෙක් නොවුණෙමි’ යි නිශ්ශබ්දතාවයෙන් සිට සංඝයා වෙහෙසයි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, ඉදිරියට ත් නොයයි ද, පසුපසට ත් නොයයි ද, ටැඹක් සේ නිශ්චල ව දැඩිකොට සිටියි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ සත්වෙනි පුරුෂ දෝෂය යි.
8. තව ද මහණෙනි, භික්ෂූහු භික්ෂුවකට ආපත්තියෙන් චෝදනා කරති. එවිට ඒ භික්ෂුව භික්ෂූන් විසින් ආපත්තියෙන් චෝදනා කරන ලදු ව මෙසේ කියයි. ‘කිම, ආයුෂ්මත්නි, ඔබ කුමක් හෙයින් මා කෙරෙහි මෙතරම් දැඩි ලෙස කටයුතු කරව් ද? දැන් මම ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි වන්නෙමි’ යි හෙතෙමේ ශික්ෂාව ප්‍රතික්ෂේප කොට හීන වූ ගිහි බවට පත් ව මෙසේ කියයි. ‘දැන් ඉතින් ආයුෂ්මත්නි, තෙපි සතුටු වව්’ යනුවෙනි. යම් සේ මහණෙනි, ඒ පහත් වර්ගයේ අශ්වයා පුහුණුකරු විසින් ‘යනු’ කියා කෙවිටෙන් ගැසූ කල්හී, මෙහෙයවන කල්හී, පෙර පා ත් හකුළුවා, පසු පා ත් හකුළුවා එතැන ම සතර පා මැඩ හිඳගනියි ද, මහණෙනි, මම එබඳු උපමා කොට මේ පුද්ගලයා ගැන කියමි. මහණෙනි, මේ සසුනෙහි මෙබඳු වූත් ඇතැම් පහත් වර්ගයේ පුද්ගලයෙක් සිටියි. මහණෙනි, මේ අටවෙනි පුරුෂ දෝෂය යි.
මහණෙනි, මේ වනාහී පහත් වර්ගයේ පුරුෂයන් අට දෙනා ය. පුරුෂ දෝෂ අට මේවා ය.
සාදු! සාදු!! සාදු!!!
ඛලුංක සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M