අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.2.3. ආජඤ්ඤ සුත්තං

8.1.2.3. ආජානේය අශ්වයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, රජුගේ සොඳුරු ආජානේය අශ්වයා අංග අටකින් සමන්විත වූයේ, රජුට සුදුසු වෙයි. රාජ පරිහරණයට යෝග්‍ය වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට යයි. ඒ කවර අංග අටකින් ද යත්;

මහණෙනි, මෙහිලා රජුගේ සොඳුරු ආජානේය අශ්වයා මව් පිය දෙපාර්ශවයෙන් සුජාත වෙයි. යම් දිශාවක අන්‍ය සොඳුරු ආජානේය අශ්වයෝ උපදිත් නම් ඒ දිශාවෙහි උපන්නේ වෙයි. ඔහුට අමු වේවා, වියළි වේවා යම් භෝජනයක් දෙත් නම් එය නොවිසුරුවා, සකසා අනුභව කරයි. බෙටි දැමූ තැන හෝ මුත්‍රා හෙලූ තැන ඉඳගන්නට හෝ සැතපෙන්නට හෝ පිළිකුල් කරයි. කීකරු වූයේ, ඇසුරට පහසු වූයේ වෙයි. අනිත් අශ්වයන් නොතැති ගන්වන්නේ වෙයි. ඔහු තුළ යම් වංචනික බවක්, කපටි බවක්, ඇද බවක්, වක්‍ර බවක් ඇද්ද, ඒ සියල්ල තමා ව හික්මවන පුහුණු කරන්නාට ප්‍රකට කරයි. ඔහුගේ ඒ සියල්ල මැඩීමට ඒ පුහුණුකරු උත්සාහ කරයි. බර උසුලුන බව ත්, අවවාද පිළිපදින බව ත් ඇත්තේ වෙයි. ‘අනිත් අශ්වයෝ බර උසුලත්වා හෝ නොඋසුලත්වා හෝ එයින් මට කම් නැත. මෙහිලා මම් ම උසුලමි’ යි සිත උපදවයි. යන කල්හී ඍජු මාර්ගයෙන් ම යයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. තම ජීවිතය මරණයෙන් නිමාවන තෙක් ඒ වීරිය පවත්වයි.

මහණෙනි, රජුගේ සොඳුරු ආජානේය අශ්වයා මේ අංග අටෙන් සමන්විත වූයේ, රජුට සුදුසු වෙයි. රාජ පරිහරණයට යෝග්‍ය වෙයි. රජුගේ අංගයක් ය යන ගණනට යයි.

එසෙයින් ම මහණෙනි, අට කරුණකින් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි. ඒ කවර අට කරුණකින් ද යත්;

1. මහණෙනි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි.

2. ඒ භික්ෂුවට රූක්ෂ වේවා, ප්‍රණීත වේවා, යම් බොජුනක් පිළිගන්වයි නම්, එය කෙලෙස් හා නොගැටෙමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් සකස් කොට වළඳයි.

3. කාය දුෂ්චරිතය ත්, වචී දුෂ්චරිතය ත්, මනෝ දුෂ්චරිතය ත් පිළිකුල් කරයි. අනේක වූ පාපී අකුසල ධර්මයන් හා එක්වීම පිළිකුල් කරයි.

4. කීකරු වූයේ, ඇසුරට පහසු වූයේ වෙයි. අන්‍ය භික්ෂූන් ව නොතැති ගන්වන්නේ වෙයි.

5. ඒ භික්ෂුව තුළ යම් වංචනික බවක්, කූට බවක්, ඇද බවක්, වක්‍ර බවක් ඇද්ද, ඒ සියල්ල ඒ අයුරින් ම ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ ප්‍රකට කරයි. ශාස්තෘන් වහන්සේ හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් හෝ ඔහුගේ ඒ දුබලතා මැඩලීමට උත්සාහ කරයි.

6. හික්මෙන්නේ ම වෙයි. අන්‍ය භික්ෂූහු හික්මෙත්වා හෝ නොහික්මෙත්වා හෝ මෙහිලා මම් ම හික්මෙන්නෙමි යි සිත උපදවයි.

7. යන කල්හී ඍජු මාර්ගයෙන් ම යයි. ඒ ඍජු මාර්ගය කුමක් ද යත්, සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගය යි.

8. පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. ඒකාන්තයෙන් මේ සිරුරෙහි සම් ද, නහර ද ඇට ද ඉතුරු වෙතොත් ඉතුරු වේවා. ලේ මස් වියලෙතොත් වියැලේවා. පුරුෂ බලයෙන්, පුරුෂ වීර්යයෙන්, පුරුෂ පරාක්‍රමයෙන්, යමක් අත්පත් කරගත යුතු ද, එයට නොපැමිණ වීර්යය අත්හැරීමක් නොවන්නේ ය.

මහණෙනි, මේ අට කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුණෙය්‍ය වෙයි. ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ආජඤ්ඤ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M