එක් සමයක ආයුෂ්මත් උත්තර තෙරණුවෝ මහිසවත්ථුවෙහි සංකෙය්‍යක පර්වතයෙහි ධ්වජාලිකා නම් වෙහෙරෙහි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් උත්තර තෙරණුවෝ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….
“ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති.”
එවේලෙහි වෛශ්‍රවණ මහාරාජයා කිසියම් කටයුත්තකට උතුරු දිශාවෙන් දකුණු දිශාවට යයි. වෛශ්‍රවණ මහාරාජයා මහිසවත්ථුවෙහි සංකෙය්‍යක පර්වතයෙහි ධ්වජාලිකායෙහි ආයුෂ්මත් උත්තර තෙරිඳුන් විසින් භික්ෂූන්ට මෙසේ ධර්මය දේශනා කරනු ඇසුවේ ය. එනම් ‘ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති’ යි.
ඉක්බිති වෛශ්‍රවණ මහාරාජයා බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින සෙයින්, දික් කළ අතක් හකුලන සෙයින් මහිසවත්ථුවෙහි සංකෙය්‍යක පර්වතයෙහි ධ්වජාලිකාවෙන් නොපෙනී ගොස් තව්තිසා දෙවියන් අතරෙහි පහළ වූයේ ය.
ඉක්බිති වෛශ්‍රවණ මහාරාජයා ශක්‍ර දේවේන්ද්‍රයා වෙත පැමිණියේ ය. පැමිණ සක් දෙවිඳුන් හට මෙය සැළ කළේ ය.
“නිදුකාණෙනි, දන්නෙහි ද? මේ ආයුෂ්මත් උත්තර තෙරිඳුන් මහිසවත්ථුවෙහි සංකෙය්‍යක පර්වතයෙහි ධ්වජාලිකායෙහි භික්ෂූන්ට මෙසේ ධර්මය දේශනා කරති. ‘ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් ….(පෙ)…. තමන්ට ලැබෙන සම්පත් ….(පෙ)…. අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති’ යි.”
එකල්හී ශක්‍ර දේවේන්ද්‍රයෝ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින සෙයින්, දික් කළ අතක් හකුලන සෙයින් තව්තිසා දෙවියන් අතරෙන් නොපෙනී ගොස් මහිසවත්ථුවෙහි සංකෙය්‍යක පර්වතයෙහි ධ්වජාලිකාවෙහි ආයුෂ්මත් උත්තර තෙරුන් ඉදිරියෙහි පහළ වූහ.
ඉක්බිති සක්දෙවිඳු ආයුෂ්මත් උත්තර තෙරුන් වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් උත්තර තෙරුන්ට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව හුන් සක් දෙවිඳු උත්තර තෙරුන්ට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, ආයුෂ්මත් උත්තර තෙරණුවෝ භික්ෂූන්ට මෙසේ ත් ධර්මය දෙසත් ය යනු සැබෑවක් ද? එනම් ‘ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. ආයුෂ්මත්නි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් ….(පෙ)…. තමන්ට ලැබෙන සම්පත් ….(පෙ)…. අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති’ යි.”
“එසේ ය, දේවේන්ද්‍රයෙනි”
“කිම, ස්වාමීනී, මෙය ආයුෂ්මත් උත්තරයන්ගේ ස්වකීය ප්‍රතිභානයක් ද? නැතහොත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ වචනයක් ද?”
“එසේ වී නම් දේවේන්ද්‍රයෙනි, මම ඔබට උපමාවක් පවසමි. මෙහිලා ඇතැම් නුවණැති පුරුෂයෝ පැවසූ දෙයෙහි අර්ථය උපමාවෙනුත් දැනගනිති. දේවේන්ද්‍රයෙනි, එය මෙබඳු දෙයකි. ගමකට හෝ නියම් ගමකට හෝ නුදුරින් මහත් ධාන්‍ය රාශියක් තිබෙයි. එයින් මහාජනකාය කදෙනුත්, භාජන වලිනුත්, උකුලෙනුත්, අතිනුත් ධාන්‍ය රැගෙන එයි. එවිට දේවේන්ද්‍රයෙනි, යමෙක් ඒ මහාජනකාය වෙත ගොස් මෙසේ අසයි. ‘මේ ධාන්‍ය ඔබ රැගෙන එන්නේ කොහෙන්දැ’යි. දේවේන්ද්‍රයෙනි, ඒ මහාජනයා මැනැවින් පිළිතුරු දිය යුතු නම් පිළිතුරු දිය යුත්තේ කෙසේ ද?”
“ස්වාමීනී, ‘අසවල් තැන ඇති මහා ධාන්‍ය රාශියෙනුයි මේවා රැගෙන එන්නේ’ කියා ඒ මහජනයා මැනැවින් පිළිතුරු දෙන්නේ නම් පිළිතුරු දෙන්නේය.”
“එසෙයින් ම දේවේන්ද්‍රයෙනි, යම්කිසි සුභාෂිතයක් ඇද්ද, ඒ සියල්ල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ වචන යි. එයින් නැවත නැවත ගෙන අපි ත් අන්‍යයන්ට පවසම්හ.”
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයකි! ස්වාමීනී, ආයුෂ්මත් උත්තරයන් වහන්සේ විසින් පවසන ලද්දේ මොන තරම් සුභාෂිතයක් ද. එනම්, ‘යම්කිසි සුභාෂිතයක් ඇද්ද, ඒ සියල්ල ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජුන්ගේ වචන යි. එයින් නැවත නැවත ගෙන අපි ත් අන්‍යයන්ට පවසම්හ’ යන කරුණ යි.
ස්වාමීනී, උත්තරයන් වහන්ස, එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. දේවදත්තයා සංඝයා බිඳගොස් වැඩි කල් නොවී ය. එහිදී භාග්‍යවතුන් වහන්සේ දේවදත්තයා අරභයා භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට අනුන්ට සිදුවන විපත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට තමන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති. මහණෙනි, භික්ෂුවක් කලින් කලට අනුන්ට ලැබෙන සම්පත් නුවණින් සළකන්නේ නම් යහපති.
මහණෙනි, අටක් වූ අසද්ධර්මයෙන් මැඩගත්, අසද්ධර්මයෙන් වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය. ඒ කවර අට කරුණක් ද යත්;
මහණෙනි, ලාභයෙන් මැඩගත්, ලාභයෙන් වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය. අලාභයෙන් ….(පෙ)…. යසින් ….(පෙ)…. අයසින් ….(පෙ)…. සත්කාරයෙන් ….(පෙ)…. අසත්කාරයෙන් ….(පෙ)…. පවිටු ආශාවෙන් ….(පෙ)…. පාපමිත්‍රයන්ගෙන් මැඩගත්, වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය.
මහණෙනි, මේ අටක් වූ අසද්ධර්මයෙන් මැඩගත්, අසද්ධර්මයෙන් වෙළුණු සිත් ඇති දේවදත්තයා අපායට නිසි වූයේ, නිරයට නිසි වූයේ, කල්පයක් පැසෙනුයේ, පිළියම් නොකළ හැකි තැනට වැටුණේ ය.
මහණෙනි, භික්ෂුවක් උපන් ලාභය නුවණින් සළකා නැවත නැවත මැඩගෙන වසන්නේ නම් යහපති. උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපත් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නුවණින් සළකා නැවත නැවත මැඩගෙන වසන්නේ නම් යහපති.
මහණෙනි, භික්ෂුවක් කවර යහපතක් නිසාවෙන් ද උපන් ලාභය නැවත නැවත මැඩගෙන වාසය කළ යුතු වන්නේ? උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපත් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කළ යුතු වන්නේ?
මහණෙනි, උපන් ලාභය නොමැඩගෙන වසන්නා වූ ඔහුට යම් දුක් පීඩා ඇතිවන කෙලෙස් උපදියි නම් උපන් ලාභය මැඩගෙන වසන්නහුට මෙසේ ඒ දුක් පීඩා ඇතිකරන කෙලෙස් ඇති නොවෙයි. මහණෙනි, උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපත් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නොමැඩගෙන වසන්නා වූ ඔහුට යම් දුක් පීඩා ඇතිවන කෙලෙස් උපදියි නම් උපන් ලාභය මැඩගෙන වසන්නහුට මෙසේ ඒ දුක් පීඩා ඇතිකරන කෙලෙස් ඇති නොවෙයි.
මහණෙනි, භික්ෂුව මේ අර්ථය නිසාවෙනුයි උපන් ලාභය නැවත නැවත මැඩගෙන වාසය කළ යුත්තේ. මහණෙනි, උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපත් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කළ යුත්තේ.
එහෙයින් මහණෙනි, මෙහිලා මෙසේ හික්මිය යුත්තේ ය. උපන් ලාභය නැවත නැවත. මැඩගෙන වාසය කරන්නෙමු. උපන් අලාභය ….(පෙ)…. උපන් යස ….(පෙ)…. උපන් අයස ….(පෙ)…. උපන් සත්කාරය ….(පෙ)…. උපන් අසත්කාරය ….(පෙ)…. උපන් පවිටු ආශාව ….(පෙ)…. උපන් පාප මිත්‍රයන් නැවත නැවත මැඩගෙන වාසය කරන්නෙමු යි. මහණෙනි, මෙසේ ඔබ හික්මිය යුත්තේය.
ස්වාමීනී, උත්තරයන් වහන්ස, මිනිසුන් අතර සිටින භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා සිව් පිරිස මෙතෙක් ම ය. ඔවුන් අතුරින් කිසිවෙකු තුළ මේ ධර්ම පරියාය නොපිහිටියේ ය. ස්වාමීනී, ආයුෂ්මත් උත්තරයන් වහන්සේ මේ ධර්ම පරියාය උගනිත්වා! ස්වාමීනී, ආයුෂ්මත් උත්තරයන් වහන්සේ මේ ධර්ම පරියාය හදාරත්වා! ස්වාමීනී, ආයුෂ්මත් උත්තරයන් වහන්සේ මේ ධර්ම පරියාය ධරත්වා! ස්වාමීනී, ආයුෂ්මත් උත්තරයන් වහන්ස, මේ ධර්ම පරියාය අර්ථ සහිත වෙයි. නිර්වාණාවබෝධ කරන මාර්ගයට මුල් වෙයි.
සාදු! සාදු!! සාදු!!!
උත්තර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M