සැවැත් නුවර දී ය …..
මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘කුලපුත්‍රයා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘බලසම්පන්නයා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘ප්‍රසාදය ඇති කරවන්නා’ යැයි කියන්නේ ය. මහණෙනි, මැනැවින් කියන්නෙක් නන්දයන් අරභයා ‘තියුණු රාග ඇත්තා’ යැයි කියන්නේ ය.
මහණෙනි, වෙනත් කරුණක් කුමට ද? යම් කරුණකින් නන්ද තෙමේ පිරිපුන් කොට, පිරිසිදු කොට, බඹසර හැසිරෙන්ට සමර්ථ වෙයි ද, එසෙයින් නන්ද තෙමේ ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි වැරීමෙහි යුක්ත වූයේ, සිහි නුවණින් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව මෙය යි. ඉදින් මහණෙනි, නන්දයන් විසින් පූර්ව දිශාව බැලිය යුතු වෙයි නම්, නන්ද තෙමේ මුළු සිතින් යුතුව ම පූර්ව දිශාව බලයි. ‘මෙසේ මා විසින් පූර්ව දිශාව බලද්දී ලෝභ – ද්වේෂ ආදී පවිටු අකුසල් මා පසුපස හඹා නොඑන්නාහුය’ යි කියා ය. මෙසේ එහිලා නුවණින් යුක්ත වෙයි. ඉදින් මහණෙනි, නන්දයන් විසින් බටහිර දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. උතුරු දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)….. දකුණු දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. උඩ දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. යට දිශාව බැලිය යුතු වෙයි නම් ….(පෙ)…. අනු දිශා බැලිය යුතු වෙයි නම් නන්ද තෙමේ මුළු සිතින් යුතුව ම අනුදිශා බලයි. ‘මෙසේ මා විසින් අනුදිශා බලද්දී ලෝභ – ද්වේෂ ආදී පවිටු අකුසල් මා පසුපස හඹා නොඑන්නාහු ය’ යි කියා ය. මෙසේ එහිලා නුවණින් යුක්ත වෙයි. මහණෙනි. නන්දයන්ගේ ඉඳුරන්හි වැසූ දොරටු ඇති බව මෙයයි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ බොජුනෙහි පමණ දන්නා බව යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්ද තෙමේ නුවණින් සළකා ආහාර වළඳයි. ජවය පිණිස නොවෙයි. මත්වීම පිණිස නොවෙයි. සැරසීම පිණිස නොවෙයි. විභූෂණය පිණිස නොවෙයි. හුදෙක් මේ කයෙහි පැවැත්ම පිණිස ය. යැපීම පිණිස ය. වෙහෙස සංසිඳවීම පිණිස ය. නිවන් මගට අනුබල පිණිස ය. මෙසේ පැරණි වේදනා නැති කරමි. අලුත් වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව ද වෙයි. නිවැරදි බව ත් පහසු විහරණය ත් වෙයි. මහණෙනි, නන්දයන්ගේ බොජුනෙහි පමණ දන්නා බව මෙය යි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්ද තෙමේ දහවල් දවසේ සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ පළමු යාමයෙහි ත් සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. රාත්‍රියේ මධ්‍යම යාමයෙහි දකුණු පසට හැරී එක් පාදයකින් තවත් පාදයක් මෑත් කොට නැගිටින සංඥාව මෙනෙහි කොට සිහි නුවණින් යුතුව සිංහ සෙය්‍යාවෙන් සැතපෙයි. රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි නැගිට සක්මනෙනුත්, වාඩිවීමෙනුත් නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරයි. මහණෙනි, නන්දයන්ගේ නිදිවැරීමෙහි යෙදීම යනු මෙය යි.
මහණෙනි, එහිලා නන්දයන්ගේ සිහි නුවණෙහි පැවැත්ම යනු මෙය යි. මහණෙනි, මෙහිලා නන්දයන් හට දැනුවත් ව ම වේදනාවෝ උපදිති. දැනුවත් ව ම වේදනාවෝ පවතිත්. දැනුවත් ව ම වේදනාවෝ නැති වෙති. දැනුවත් ම සංඥාවෝ උපදිති. ….(පෙ)…. දැනුවත් ව ම විතර්කයෝ උපදිති. දැනුවත් ව ම විතර්කයෝ පවතිති. දැනුවත් ව ම විතර්කයෝ නැතිවෙති. මහණෙනි, මෙය නන්දයන්ගේ සතිසම්පජඤ්ඤය තුළ සිටීම යි.
මහණෙනි, වෙනත් කරුණක් කුමට ද? යම් කරුණකින් නන්ද තෙමේ පිරිපුන් කොට, පිරිසිදු කොට, බඹසර හැසිරෙන්ට සමර්ථ වෙයි ද, එසෙයින් නන්ද තෙමේ ඉන්ද්‍රියයන්හි වැසූ දොරටු ඇත්තේ, භෝජනයෙහි පමණ දන්නේ, නිදි වැරීමෙහි යුක්ත වූයේ, සිහි නුවණින් යුක්ත වූයේ වෙයි.
සාදු! සාදු!! සාදු!!!
නන්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M