අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.1.6. දුතිය ලෝකධම්ම සුත්තං

8.1.1.6. ලෝක ධර්මය ගැන වදාළ දෙවෙනි දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ලෝක ධර්ම අට ලොව අනුව පෙරලී යයි. ලෝකය ත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලී යයි. ඒ කවර අටක් ද යත්;

ලාභය ත්, අලාභය ත්, අයස ත්, යස ත්, නින්දාව ත්, ප්‍රශංසාව ත්, සැප ත්, දුක ත් ය.

මහණෙනි, මේ ලෝක ධර්ම අට ලොව අනුව පෙරලී යයි. ලෝකය ත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලී යයි.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයාට ලාභය ත් උපදියි. අලාභය ත් උපදියි. අයස ත් උපදියි. යස ත් උපදියි. නින්දාව ත් උපදියි. ප්‍රශංසාව ත් උපදියි. සැප ත් උපදියි. දුක ත් උපදියි.

මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට ද ලාභය ත් උපදියි. අලාභය ත් උපදියි. අයස ත් උපදියි. යස ත් උපදියි. නින්දාව ත් උපදියි. ප්‍රශංසාව ත් උපදියි. සැප ත් උපදියි. දුක ත් උපදියි.

මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත් පෘථග්ජනයාගේ ත් විශේෂත්වය කුමක් ද? අදහස කුමක් ද? නානත්වය කුමක් ද?”

“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තේ ය. ස්වාමීනී, මේ වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක් නම් මැනැවි. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරා ගන්නාහ.”

“එසේ වී නම් අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී” යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා හට ලාභයක් උපදියි. එවිට ඔහු මෙසේ නුවණින් නොසළකයි. ‘මට මේ ලාභය උපන්නේ ය. එය ත් අනිත්‍ය ය. දුක් ය. වෙනස් වන ස්වභාව ඇත්තේ ය’ යි ඇත්ත ඇති සැටියෙන් නොදනියි. අලාභයක් උපදියි ….(පෙ)…. අයසක් උපදියි ….(පෙ)…. යසක් උපදියි ….(පෙ)…. නින්දාවක් උපදියි ….(පෙ)…. ප්‍රශංසාවක් උපදියි ….(පෙ)…. සැපක් උපදියි ….(පෙ)…. දුකක් උපදියි. එවිට ඔහු මෙසේ නුවණින් නොසළකයි. ‘මට මේ දුකක් උපන්නේ ය. එය ත් අනිත්‍ය ය. දුක් ය. වෙනස් වන ස්වභාව ඇත්තේ ය’ යි ඇත්ත ඇති සැටියෙන් නොදනියි.

ලාභය ත් ඔහුගේ සිත යටකොට සිටියි. අලාභය ත් සිත යටකොට සිටියි. යසස ත් සිත යටකොට සිටියි. අයස ත් සිත යටකොට සිටියි. නින්දා ත් සිත යටකොට සිටියි. ප්‍රශංසා ත් සිත යටකොට සිටියි. සැප ත් සිත යටකොට සිටියි. දුක ත් සිත යටකොට සිටියි. ඔහු උපන් ලාභයට ඇලෙයි. අලාභයෙහි ගැටෙයි. උපන් යසට ඇලෙයි. අයසෙහි ගැටෙයි. උපන් ප්‍රශංසාවට ඇලෙයි. නින්දාවට ගැටෙයි. උපන් සැපට ඇලෙයි. දුකට ගැටෙයි. මෙසේ ඔහු ඇලීම් ගැටීම් දෙකෙන් යුක්ත වූයේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීමෙන් නිදහස් නොවෙයි. දුකින් නිදහස් නොවේ යැයි කියමි.

මහණෙනි, ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා හට ලාභයක් උපදියි. එවිට ඔහු මෙසේ නුවණින් සළකයි. ‘මට මේ ලාභය උපන්නේ ය. එය ත් අනිත්‍ය ය. දුක් ය. වෙනස් වන ස්වභාව ඇත්තේ ය’ යි ඇත්ත ඇති සැටියෙන් දනියි. අලාභයක් උපදියි ….(පෙ)…. අයසක් උපදියි ….(පෙ)…. යසක් උපදියි ….(පෙ)…. නින්දාවක් උපදියි ….(පෙ)…. ප්‍රශංසාවක් උපදියි ….(පෙ)…. සැපක් උපදියි ….(පෙ)…. දුකක් උපදියි. එවිට ඔහු මෙසේ නුවණින් සළකයි. ‘මට මේ දුකක් උපන්නේ ය. එය ත් අනිත්‍ය ය. දුක් ය. වෙනස් වන ස්වභාව ඇත්තේ ය’ යි ඇත්ත ඇති සැටියෙන් දනියි.

ලාභය ත් ඔහුගේ සිත යටකොට නොසිටියි. අලාභය ත් සිත යටකොට නොසිටියි. යසස ත් සිත යටකොට නොසිටියි. අයස ත් සිත යටකොට නොසිටියි. නින්දා ත් සිත යටකොට නොසිටියි. ප්‍රශංසා ත් සිත යටකොට නොසිටියි. සැප ත් සිත යටකොට නොසිටියි. දුක ත් සිත යටකොට නොසිටියි. ඔහු උපන් ලාභයට නොඇලෙයි. අලාභයෙහි නොගැටෙයි. උපන් යසට නොඇලෙයි. අයසෙහි නොගැටෙයි. උපන් ප්‍රශංසාවට නොඇලෙයි. නින්දාවට නොගැටෙයි. උපන් සැපට නොඇලෙයි. දුකට නොගැටෙයි. මෙසේ ඔහු ඇලීම් ගැටීම් දෙකෙන් තොර වූයේ ඉපදීමෙන්, ජරා මරණයෙන්, ශෝකයෙන්, වැළපීමෙන්, දුකින්, දොම්නසින්, සුසුම් හෙළීමෙන් නිදහස් වෙයි. දුකින් නිදහස් වේ යැයි කියමි.

මහණෙනි, එහිලා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාගේ ත්, අශ්‍රැතවත්

පෘථග්ජනයාගේ ත් විශේෂත්වය මෙය යි. අදහස මෙය යි. නානත්වය මෙය යි.”

(ගාථා)

1. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේ ධර්මයෝ අනිත්‍යය ය. මිනිසුන් කෙරෙහි පෙරලෙන ස්වභාවයෙන් යුක්ත ය. අශාස්වත ය.

2. සිහි ඇති, මනා නුවණැති තැනැත්තා අෂ්ට ලෝක ධර්මයන්ගේ පෙරලී යාම ගැන නුවණින් සළකා බලයි. එහි ඇති සිතට ප්‍රිය උපදවන කරුණු වලින් ඔහුගේ සිත නොමැඩෙයි. අනිෂ්ට වූ කරුණු වලින් ඔහු කඩා නොවැටෙයි.

3. ඔහු විසින් ඉෂ්ට කරුණු වලට ඇලීම ත්, අනිෂ්ට කරුණු වලට ගැටීම ත් නසන ලද්දේ වෙයි නම්, එය නැති වී ගියේ නම්, කෙලෙස් නැති, ශෝක නැති හේ මනා අවබෝධයෙන් යුතුව භවයෙන් එතෙරට ගියේය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය ලෝකධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M