අංගුත්තර නිකාය

අට්ඨක නිපාතෝ

8.1.1.5. පඨම ලෝකධම්ම සුත්තං

8.1.1.5. ලෝක ධර්මය ගැන වදාළ පළමු දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ ලෝක ධර්ම අට ලොව අනුව පෙරලී යයි. ලෝකය ත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලී යයි. ඒ කවර අටක් ද යත්;

ලාභය ත්, අලාභය ත්, අයස ත්, යස ත්, නින්දාව ත්, ප්‍රශංසාව ත්, සැප ත්, දුක ත් ය.

මහණෙනි, මේ ලෝක ධර්ම අට ලොව අනුව පෙරලී යයි. ලෝකය ත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලී යයි.

(ගාථා)

1. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්‍රශංසා, සැප, දුක යන මේ ධර්මයෝ අනිත්‍යය ය. මිනිසුන් කෙරෙහි පෙරලෙන ස්වභාවයෙන් යුක්ත ය. අශාස්වත ය.

2. සිහි ඇති, මනා නුවණැති තැනැත්තා අෂ්ට ලෝක ධර්මයන්ගේ පෙරලී යාම ගැන නුවණින් සළකා බලයි. එහි ඇති සිතට ප්‍රිය උපදවන කරුණු වලින් ඔහුගේ සිත නොමැඩෙයි. අනිෂ්ට වූ කරුණු වලින් ඔහු කඩා නොවැටෙයි.

3. ඔහු විසින් ඉෂ්ට කරුණු වලට ඇලීම ත්, අනිෂ්ට කරුණු වලට ගැටීම ත් නසන ලද්දේ වෙයි නම්, එය නැති වී ගියේ නම්, කෙලෙස් නැති, ශෝක නැති හේ මනා අවබෝධයෙන් යුතුව භවයෙන් එතෙරට ගියේ ය.

සාදු! සාදු!! සාදු!!!

පඨම ලෝකධම්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_8-1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M