සැවැත් නුවර දී ය …..
මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. මහණෙනි, සුනෙත්ත ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. සුනෙත්ත ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දෙසුවේ ය. මහණෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් මහණෙනි, බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන සුනෙත්ත ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.
මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී මූගපක්ඛ නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී අරණේමි නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී කුද්දාලක නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී හත්ථිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී ජෝතිපාල නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. ….(පෙ)…. මහණෙනි, මෙය පෙර සිදු වූ දෙයකි. ආගමික මතයක් දරණ කාමයන්හි වීතරාගී අරක නම් ශාස්තෘවරයෙක් සිටියේ ය. මහණෙනි, අරක ශාස්තෘ හට නොයෙක් සිය ගණන් ශ්‍රාවකයෝ වූහ. අරක ශාස්තෘ තෙමේ ශ්‍රාවකයන් හට බඹලොව ඉපදීම පිණිස ධර්මය දෙසුවේ ය. මහණෙනි, යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන අරක ශාස්තෘ කෙරෙහි සිත් නොපහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපන්හ. යමෙක් බඹලොව ඉපදීම පිණිස දහම් දෙසන අරක ශාස්තෘ කෙරෙහි සිත් පහදවාගත්තාහු නම් ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපන්හ.
මහණෙනි, ඒ කිමෙකැයි හඟින්නහු ද? යමෙක් ආගමික මතයක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සත් දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කරයි නම්, පරිභව කරයි නම්, ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරන්නේ ද?”
“එසේ ය, ස්වාමීනී.”
“මහණෙනි, යමෙක් ආගමික මතයක් පැවසූ, කාමයන්හී වීතරාගී වූ, නොයෙක් සිය ගණන් පිරිවර වූ ශ්‍රාවක සංඝයා සහිත මේ ශාස්තෘවරුන් සත් දෙනා කෙරෙහි දූෂිත සිත් ඇති ව ආක්‍රෝශ කිරීමෙන්, පරිභව කිරීමෙන් ඒ තැනැත්තා බොහෝ පව් රැස් කරයි නම්, යමෙක් එක් දිට්ඨිසම්පන්න සෝවාන් පුද්ගලයෙකුට දුෂ්ට වූ සිතින් ආක්‍රෝශ කරයි ද, පරිභව කරයි ද, මෙතෙමේ එයට වඩා බොහෝ පව් රැස් කරන්නේ ය. එයට හේතුව කුමක් ද යත්, මහණෙනි, මාගේ සසුනෙහි සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර යම්බඳු ඉවසීමක් ඇද්ද, එබඳු වූ ඉවසීමක් මෙයින් බැහැර වූ අන් තැනක ඇතැයි මම නොකියමි. එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘තම සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි දුෂ්ට වූ සිත් අපට නොවේවා’ යි. මහණෙනි, ඔබ විසින් හික්මිය යුත්තේ ඔය අයුරිනි.
සාදු! සාදු!! සාදු!!!
සුනෙත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M