සැවැත් නුවර දී ය …..
මහණෙනි, භාවනාවෙහි නැවත නැවත නොයෙදී වාසය කරන භික්ෂුවට ‘අහෝ! ඒකාන්තයෙන් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වේවා’ යි මෙබඳු වූ ආශාවක් යම් විටක ඇති වුණු නමුත්, ඔහුගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් නොවන්නේ ම ය. ඒ මක් නිසා ද යත්, එයට කිව යුත්තේ දියුණු නොකළ නිසා කියා ය. කුමක් දියුණු නොකළ නිසා ද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු නොකළ නිසා ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කිකිළියකට බිජුවට අටක් හෝ දහයක් හෝ දොළොසක් හෝ ඇත්තේ ය. එනමුත් කිකිළිය ඒවා මනාකොට තමා අතර රඳවා නොගනියි. මනාකොට උණුසුම් නොකරයි. මනාකොට පරිභාවිත නොකරයි. යම් හෙයකින් කිකිළියට ‘අහෝ ඒකාන්තයෙන් මාගේ කුකුල් පැටව් පා නිය සිළින් වේවා, මුව තුඩින් වේවා, බිත්තර කටුව පළාගෙන සුව සේ පිටතට පැමිණෙත්වා’ යි මෙසේ ආශාවක් ඇතිවෙන නමුත් ඒ කුකුල් පැටව් පා නිල සිළින් හෝ, මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුව සේ පිටතට පැමිණෙත් ය යන කරුණ විය නොහැකි දෙයකි. ඒ මක් නිසාද යත්, මහණෙනි, යම් පරිදි කිකිළිය බිජුවට මනාකොට තමා අතර නොරඳවා ගත් නිසා ය. මනාකොට උණුසුම් නොකළ නිසා ය. මනාකොට පරිභාවිත නොකළ නිසා ය.
එසෙයින් ම මහණෙනි, භාවනාවෙහි නැවත නැවත නොයෙදී වාසය කරන භික්ෂුවට ‘අහෝ! ඒකාන්තයෙන් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වේවා’ යි මෙබඳු වූ ආශාවක් යම් විටක ඇති වුණු නමුත්, ඔහුගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් නොවන්නේ ම ය. ඒ මක් නිසා ද යත්, එයට කිව යුත්තේ දියුණු නොකළ නිසා කියා ය. කුමක් දියුණු නොකළ නිසා ද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු නොකළ නිසා ය.
මහණෙනි, භාවනාවෙහි නැවත නැවත යෙදී වාසය කරන භික්ෂුවට ‘අහෝ! ඒකාන්තයෙන් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වේවා’ යි මෙබඳු වූ ආශාවක් ඇති නොවුණු නමුත්, ඔහුගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වන්නේ ම ය. ඒ මක් නිසා ද යත්, එයට කිව යුත්තේ දියුණු කළ නිසා කියා ය. කුමක් දියුණු කළ නිසා ද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළ නිසා ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. කිකිළියකට බිජුවට අටක් හෝ දහයක් හෝ දොළොසක් හෝ ඇත්තේ ය. කිකිළිය ඒවා මනාකොට තමා අතර රඳවාගනියි. මනාකොට උණුසුම් කරයි. මනාකොට පරිභාවිත කරයි. යම් හෙයකින් කිකිළියට ‘අහෝ ඒකාන්තයෙන් මාගේ කුකුල් පැටව් පා නිය සිළින් වේවා, මුව තුඩින් වේවා, බිත්තර කටුව පළාගෙන සුව සේ පිටතට පැමිණෙත්වා’ යි මෙසේ ආශාවක් ඇති නොවෙන නමුත් ඒ කුකුල් පැටව් පා නිල සිළින් හෝ, මුව තුඩින් හෝ බිත්තර කටුව පළාගෙන සුව සේ පිටතට පැමිණෙත් ය යන කරුණ විය හැකි දෙයකි. ඒ මක් නිසාද යත්, මහණෙනි, යම් පරිදි කිකිළිය බිජුවට මනාකොට තමා අතර රඳවා ගත් නිසා ය. මනාකොට උණුසුම් කළ නිසා ය. මනාකොට පරිභාවිත කළ නිසා ය.
එසෙයින් ම මහණෙනි, භාවනාවෙහි නැවත නැවත යෙදී වාසය කරන භික්ෂුවට ‘අහෝ! ඒකාන්තයෙන් මාගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වේවා’ යි මෙබඳු වූ ආශාවක් ඇති නොවුණු නමුත්, ඔහුගේ සිත උපාදාන රහිත ව ආශ්‍රවයන්ගෙන් නිදහස් වන්නේ ම ය. ඒ මක් නිසා ද යත්, එයට කිව යුත්තේ දියුණු කළ නිසා කියා ය. කුමක් දියුණු කළ නිසා ද? සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කළ නිසා ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. ලී වඩුවෙකුගේ හෝ ලී වඩු අතවැසියෙකුගේ හෝ වෑ මිටෙහි ඇඟිලි සටහන් දිස්වෙයි. ඇඟිලි සටහන් දුටු කල්හී ඔහුට මෙබඳු ඥානයක් නැත්තේ ය. ‘අද මාගේ වෑ මිටෙහි මෙතෙක් ගෙවී ගියේ ය. ඊයේ මෙතෙක් ගෙවී ගියේ ය. පෙරේදා මෙතෙක් ගෙවී ගියේ ය’ කියා. එනමුදු වෑ මිට ගෙවී ගිය කල්හී ගෙවුණේ ම යන ඥානය වෙයි. එසෙයින් ම මහණෙනි, නැවත නැවත භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව හට ‘අද මාගේ ආශ්‍රවයන් මෙතෙක් ගෙවී ගියේ ය. ඊයේ මෙතෙක් ගෙවී ගියේ ය. පෙරේදා මෙතෙක් ගෙවී ගියේ ය’ යන මෙබඳු ඥානයක් නැත්තේ ය. නමුත් ආශ්‍රවයන් ක්ෂය වූ කල්හී ‘ක්ෂය වී ගියේ ම ය’ යන ඥානය ඇත්තේ ය.
මහණෙනි, එය මෙබඳු දෙයකි. මුහුදේ ඇති නැව බඳින ලද වේවැල් කඹය සය මසක් දියෙහි තිබී ශීත කාලයෙහි ගොඩට ගෙනවුත් තබන ලද්දේ අව් සුළඟින් ඒ කඹ මැඩෙනා ලද්දේ වැසි වසිනා කල්හී පහසුවෙන් ම ඒ කඹ ගැලවී යයි ද, කුණු වී යයි ද, එසෙයින් ම මහණෙනි, නැවත නැවත භාවනාවෙහි යෙදී වාසය කරන භික්ෂුව හට නිදුකින් ම සංයෝජනයෝ ගැලවී යති. කුණු වී යති.
සාදු! සාදු!! සාදු!!!
භාවනානුයුත්ත සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M