අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.2.6. සක්කාර ගරුකාර සුත්තං

7.2.2.6. සත්කාර ගරුකාර කිරීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට හුදෙකලාවේ භාවනාවෙන් සිටියදී මෙබඳු අදහසක් ඇතිවූයේ ය. ‘භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ ත්, කුසල් දියුණු කරන්නේ ත්, සත්කාර කොට ගරු කොට කවරෙකු ඇසුරු කොට වාසය කරද්දී ද?’

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය. භික්ෂුවක් ධර්මය ….(පෙ)…. භික්ෂුවක් සංඝයා ….(පෙ)…. භික්ෂුවක් ශික්ෂාව ….(පෙ)…. භික්ෂුවක් සමාධිය ….(පෙ)…. භික්ෂුවක් අප්‍රමාදය ….(පෙ)…. භික්ෂුවක් පිළිසඳර

සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය.’

යළි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘මා සිතූ මේ ධර්මයෝ වනාහී පිරිසිදු ය. ගුණයෙන් බබලයි. ඉදින් මම මේ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සැළ කරන්නෙම් නම් මෙසේ මා සිතූ මේ ධර්මයෝ පිරිසිදු ද වන්නාහු ය. වඩා ත් පිරිසිදු ව සකස් වන්නාහු ය. යම් සේ පුරුෂයෙක් පිරිසිදු වූ බබලන ස්වර්ණාභරණයක් ලබයි ද, ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම මේ ස්වර්ණාභරණය රන්කරුවෙකු වෙත පෙන්වන්නෙම් නම් මෙසේ මේ ස්වර්ණාභරණය රන්කරු අතට ගියේ වඩා ත් පිරිසිදු වන්නේ ය. වඩා ත් පිරිසිදු ලෙස සකස් වන්නේ ය’යි. එසෙයින් ම මාගේ මේ ධර්මයෝ පිරිසිදු ව බබලති. ඉදින් මම මේ ධර්මයන් ගෙන භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙම් නම් මෙසේ මාගේ මේ ධර්මයෝ වඩා ත් පිරිසිදු වන්නාහු ය. වඩා ත් පිරිසිදු ලෙස සකස් වන්නාහු ය.’

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වෙත වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මෙහි මම හුදෙකලාවේ භාවනාවෙන් සිටියදී මෙබඳු අදහසක් ඇතිවූයේ ය. ‘භික්ෂුවක් අකුසල් දුරු කරන්නේ ත්, කුසල් දියුණු කරන්නේ ත්, සත්කාර කොට ගරු කොට කවරෙකු ඇසුරු කොට වාසය කරද්දී ද?’

ස්වාමීනී, ඒ මට මේ අදහස ඇතිවිය. ‘භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය. භික්ෂුවක් ධර්මය ….(පෙ)…. භික්ෂුවක් සංඝයා ….(පෙ)…. භික්ෂුවක් ශික්ෂාව ….(පෙ)…. භික්ෂුවක් සමාධිය ….(පෙ)…. භික්ෂුවක් අප්‍රමාදය ….(පෙ)…. භික්ෂුවක් පිළිසඳර ඇසුරු කරද්දී, සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය.’

ස්වාමීනී, යළි මට මේ අදහස ඇතිවිය. ‘මා සිතූ මේ ධර්මයෝ වනාහී පිරිසිදු ය. ගුණයෙන් බබලයි. ඉදින් මම මේ ධර්මයන් භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් සැළ කරන්නෙම් නම් මෙසේ මා සිතූ මේ ධර්මයෝ පිරිසිදු ද වන්නාහු ය. වඩා ත් පිරිසිදු ව සකස් වන්නාහු ය. යම් සේ පුරුෂයෙක් පිරිසිදු වූ බබලන ස්වර්ණාභරණයක් ලබයි ද, ඔහුට මෙසේ සිතෙයි. ‘ඉදින් මම මේ ස්වර්ණාභරණය රන්කරුවෙකු වෙත පෙන්වන්නෙම් නම් මෙසේ මේ ස්වර්ණාභරණය රන්කරු අතට ගියේ වඩා ත් පිරිසිදු වන්නේ ය. වඩා ත් පිරිසිදු ලෙස සකස් වන්නේ ය’යි. එසෙයින් ම මාගේ මේ ධර්මයෝ පිරිසිදු ව බබලති. ඉදින් මම මේ ධර්මයන් ගෙන භාග්‍යවතුන් වහන්සේට සැළ කරන්නෙම් නම් මෙසේ මාගේ මේ ධර්මයෝ වඩා ත් පිරිසිදු වන්නාහු ය. වඩා ත් පිරිසිදු ලෙස සකස් වන්නාහු ය.”

“සාදු සාරිපුත්තයෙනි, සාරිපුත්තයෙනි, භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය. සාරිපුත්තයෙනි, භික්ෂුවක් ධර්මය ….(පෙ)…. සාරිපුත්තයෙනි, භික්ෂුවක් සංඝයා ….(පෙ)…. සාරිපුත්තයෙනි, භික්ෂුවක් ශික්ෂාව ….(පෙ)…. සාරිපුත්තයෙනි, භික්ෂුවක් සමාධිය ….(පෙ)…. සාරිපුත්තයෙනි, භික්ෂුවක් අප්‍රමාදය ….(පෙ)…. සාරිපුත්තයෙනි, භික්ෂුවක් පිළිසඳර සත්කාර කොට ගරුකාර කොට ඇසුරු කොට වාසය කරයි නම් අකුසල් දුරු කරන්නේ ය, කුසල් වඩන්නේ ය.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද භාෂිතයෙහි අරුත මම මේ අයුරින් විස්තර වශයෙන් දනිමි.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ ධර්මය කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ සංඝයා කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ ශික්ෂාව කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව සිට, සමාධිය කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ සමාධිය කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව නැති ව සිට, අප්‍රමාදය කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ අප්‍රමාදය කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව නැති ව සිට, අප්‍රමාදය කෙරෙහි ගෞරව නැති ව සිට, පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේ ද, අප්‍රමාදය කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ පිළිසඳර කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ ධර්මය කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ සංඝයා කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ශික්ෂාව කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ ශික්ෂාව කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව සිට, සමාධිය කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ සමාධිය කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව ඇති ව සිට, අප්‍රමාදය කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ අප්‍රමාදය කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

ස්වාමීනී, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව සිට, සමාධිය කෙරෙහි ගෞරව ඇති ව සිට, අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇති ව සිට, පිළිසඳර කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. ස්වාමීනී, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ ද, අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇත්තේ හේ පිළිසඳර කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් සංක්ෂේපයෙන් වදාරණ ලද මේ භාෂිතයෙහි අර්ථය මම විස්තර වශයෙන් මෙසේ දනිමි.”

“සාදු සාදු සාරිපුත්තයෙනි, මා විසින් සංක්ෂේපයෙන් පවසන ලද භාෂිතය, ඔබ විසින් විස්තර වශයෙන් දුටු අයුරු ඉතා යහපති. සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. සාරිපුත්තයෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ ධර්මය කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව නැති ව සිට, ….(පෙ)…. සංඝයා කෙරෙහි ගෞරව නැති ව සිට, ….(පෙ)…. ශික්ෂාව කෙරෙහි ගෞරව නැති ව සිට, ….(පෙ)…. සමාධිය කෙරෙහි ගෞරව නැති ව සිට, ….(පෙ)…. අප්‍රමාදය කෙරෙහි ගෞරව නැති ව සිට, පිළිසඳර කෙරෙහි ගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය හැකි දෙයක් නොවෙයි. සාරිපුත්තයෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව නැත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව නැත්තේ ද, අප්‍රමාදය කෙරෙහි ගෞරව නැත්තේ ද, හේ පිළිසඳර කෙරෙහි ත් ගෞරව නැත්තේ ය.

සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. සාරිපුත්තයෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, හේ ධර්මය කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

සාරිපුත්තයෙනි, ඒකාන්තයෙන් ඒ භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව සිට, ධර්මය කෙරෙහි ගෞරව ඇති ව සිට, ….(පෙ)…. සංඝයා කෙරෙහි ගෞරව ඇති ව සිට, ….(පෙ)…. ශික්ෂාව කෙරෙහි ගෞරව ඇති ව සිට, ….(පෙ)…. සමාධිය කෙරෙහි ගෞරව ඇති ව සිට, ….(පෙ)…. අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇති ව සිට, පිළිසඳර කෙරෙහි අගෞරවයෙන් වසන්නේ ය යන කරුණ සිදු විය නොහැකි දෙයකි. සාරිපුත්තයෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තේ ද, ධර්මය කෙරෙහි ගෞරව ඇත්තේ ද, සංඝයා කෙරෙහි ගෞරව ඇත්තේ ද, ශික්ෂාව කෙරෙහි ගෞරව ඇත්තේ ද, සමාධිය කෙරෙහි ගෞරව ඇත්තේ ද, අප්‍රමාදය කෙරෙහි ගෞරව ඇත්තේ හේ පිළිසඳර කෙරෙහි ත් ගෞරව ඇත්තේ ය.

සාරිපුත්තයෙනි, සංක්ෂේපයෙන් පැවසූ මේ භාෂිතයෙහි අර්ථය මෙසේ විස්තර වශයෙන් දත යුත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

සක්කාර ගරුකාර සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M