අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.2.5. පාරිච්ඡත්තක සුත්තං

7.2.2.5. පරසතු රුක ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුක පඬු පැහැ ගැනෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු රුක පඬු පැහැ ගැන්වුණු පත්‍ර ඇත්තේ ය. වැඩිකල් නොයා ගිලිහුණු පත්‍ර ඇති රුකක් වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුක කොළ හැළුණේ වෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු කොළ හැළුණේ ය. වැඩිකල් නොයා කොළ දළු ඇති වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුකෙහි කොළ දළු ඇති වූයේ වෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු රුකෙහි කොළ දළු ඇතිවුණේ ය. වැඩිකල් නොයා අළුත් මල් පොහොට්ටු ඇති වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුකෙහි මල් පොහොට්ටු ඇතිවූයේ වෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු රුකෙහි මල් පොහොට්ටු ඇතිවූයේ ය. වැඩිකල් නොයා බෙදී ගිය මල් පොහොට්ටු ඇති වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුකෙහි බෙදීගිය මල් පොහොට්ටු ඇතිවූයේ වෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු රුකෙහි බෙදී ගිය මල් පොහොට්ටු ඇතිවූයේ ය. වැඩිකල් නොයා පිපී ගෙන එන මල් ඇති වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුකෙහි පිපී ගෙන එන මල් ඇතිවූයේ වෙයි ද, එකල්හී මහණෙනි, තව්තිසාවැසි දෙවිවරු ‘දැන් කෝවිලාර නම් පරසතු රුකෙහි පිපීගෙන එන මල් ඇතිවූයේ ය. වැඩිකල් නොයා මුළුමනින් ම පිපී ගිය මල් ඇති වන්නේ ය’ යි සතුටු වෙති.

මහණෙනි, යම් කලෙක තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර නම් පරසතු රුක මුළුමනින් ම පිපී ගිය මල් ඇත්තේ වෙයි ද, මහණෙනි, එකල්හී තව්තිසාවැසි දෙවියෝ කෝවිලාර පරසතු රුක් සෙවණෙහි දිව්‍ය වර්ෂ ගණනින් සාර මාසයක් (මිනිස් වසරින් දොළොස් දහසක් අවුරුදු) පංච කාම ගුණයෙන් සමන්විත ව පිරිවරාගෙන සතුටින් වසති. ක්‍රීඩාවෙන් කල් ගෙවත්. මහණෙනි, මුළුමනින් ම මල් පිපී ගිය කෝවිලාර පරසතු රුක හාත්පස පනස් යොදුනක් ආලෝකය විහිදා සිටින්නේ වෙයි. එහි සුවඳ යොදුන් සියයක් දුරට හමන්නේ වෙයි. මෙය කෝවිලාර පරසතු රුකෙහි ඇති ආනුභාවය යි.

1. එසෙයින් ම මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා ගිහි ගෙයින් නික්ම පැවිදි වීමට සිතයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක පඬු පැහැ ඇත්තේ වෙයි.

2. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා කෙස් රැවුල් බහා කසාවත් පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වෙත් ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක වැටුණු කොළ ඇත්තේ වෙයි.

3. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවා වාසය කරයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක කොළ දළු ඇත්තේ වෙයි.

4. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවා වාසය කරයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක අළුත් මල් පොහොට්ටු ඇත්තේ වෙයි.

5. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවා වාසය කරයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක බෙදී ගිය මල් පොහොට්ටු ඇත්තේ වෙයි.

6. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා සැපය ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවා වාසය කරයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක පිපී ගෙන එන මල් ඇත්තේ වෙයි.

7. මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවකයා ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි ද, මහණෙනි, එසමයෙහි තව්තිසාවැසි දෙවියන්ගේ කෝවිලාර පරසතු රුක සෙයින් ආර්ය ශ්‍රාවකයා නමැති පරසතු රුක මුළුමනින් ම පිපී ගිය මල් ඇත්තේ වෙයි.

මහණෙනි, එසමයෙහි පොළොවවාසී දෙවියෝ ‘මෙබඳු නම් ඇති මේ ආයුෂ්මතුන් වහන්සේගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති මේ ආයුෂ්මත් තෙමේ අසවල් ගමෙන් හෝ නියම් ගමෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ ය. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි’ යි ශබ්ද ඝෝෂා පවත්වති. පොළොවවාසී දෙවියන්ගේ ශබ්දය අසා ‘මෙබඳු නම් ඇති මේ ආයුෂ්මතුන් වහන්සේගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති මේ ආයුෂ්මත් තෙමේ අසවල් ගමෙන් හෝ නියම් ගමෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ ය. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි’ යි චාතුම්මහාරාජික දෙවිවරු ශබ්දඝෝෂා පවත්වති. චාතුම්මහාරාජික දෙවියන්ගේ ශබ්දය අසා තව්තිසා දෙවියෝ ….(පෙ)…. යාම දෙවියෝ ….(පෙ)…. තුසිත දෙවියෝ ….(පෙ)…. නිම්මාණරතී දෙවියෝ ….(පෙ)…. පරනිම්මිත වසවත්තී දෙවියෝ ….(පෙ)…. ‘මෙබඳු නම් ඇති මේ ආයුෂ්මතුන් වහන්සේගේ සද්ධිවිහාරික වූ මෙබඳු නම් ඇති මේ ආයුෂ්මත් තෙමේ අසවල් ගමෙන් හෝ නියම් ගමෙන් නික්ම අනගාරික සසුනෙහි පැවිදි වූයේ ය. ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි’ යි බ්‍රහ්මකායික දෙවියෝ ශබ්දඝෝෂා පවත්වති.

මෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව දක්වා ශබ්දය උස් ව පැන නඟින්නේ ය. මේ ක්ෂීණාශ්‍රව අරහත් භික්ෂුවගේ ආනුභාවය යි.

සාදු! සාදු!! සාදු!!!

පාරිච්ඡත්තක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M