අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.2.4. ධම්මඤ්ඤූ සුත්තං

7.2.2.4. ධර්මය දැනගත් කෙනා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, සත් කරුණකින් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙයි. ඒ කවර සත් කරුණකින් ද යත්;

මහණෙනි, මෙහිලා භික්ෂුව ධර්මය දන්නේ ද වෙයි. අර්ථය දන්නේ ද වෙයි. තමා ව දන්නේ ද වෙයි. ප්‍රමාණය දන්නේ ද වෙයි. කාලය දන්නේ ද වෙයි. පිරිස දන්නේ ද වෙයි. පුද්ගල උස් පහත් බව දන්නේ ද වෙයි.

1. මහණෙනි, භික්ෂුවක් ධර්මය දන්නෙක් වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුවක් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල යන ධර්මය දනියි. ඉදින් මහණෙනි, භික්ෂුවක් සුත්ත, ගෙය්ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වේදල්ල ධර්මය නොදන්නේ නම්, මෙසසුනෙහි ධර්මය දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව සුත්ත, ගෙය්ය, ….(පෙ)…. අබ්භූතධම්ම, වේදල්ල යන ධර්මය දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව ධර්මය දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්මය දන්නේ වෙයි.

2. අර්ථය දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුවක් ‘මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි. මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි’ වශයෙන් ඒ ඒ බුද්ධ භාෂිතයේ අර්ථය දනියි. ඉදින් මහණෙනි, භික්ෂුවක් ‘මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි. මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි’ වශයෙන් ඒ ඒ බුද්ධ භාෂිතයේ අර්ථය නොදනියි නම් මෙසසුනෙහි අර්ථය දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව ‘මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි. මේ වදාරණ ලද කරුණෙහි අර්ථය මෙය යි’ වශයෙන් ඒ ඒ බුද්ධ භාෂිතයේ අර්ථය දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව අර්ථය දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්ම දන්නේ ද වෙයි. අර්ථය දන්නේ වෙයි.

3. තමා ව දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ ප්‍රතිභානයෙන් යුක්ත වෙමි යි තමා පිළිබඳ ව දනියි. ඉදින් මහණෙනි, භික්ෂුව මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ ප්‍රතිභානයෙන් යුක්ත වෙමි යි තමා පිළිබඳ ව නොදන්නේ නම්, මෙසසුනෙහි තමා ව දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව මෙතෙක් වූ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රැතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සහ ප්‍රතිභානයෙන් යුක්ත වෙමි යි තමා පිළිබඳ ව දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව තමා ව දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්මය දන්නේ ද වෙයි. අර්ථය දන්නේ ද වෙයි. තමාව දන්නේ ද වෙයි.

4. ප්‍රමාණය දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව සිවුරු – පිණ්ඩපාත – සෙනසුන් – ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගැනීමෙහි ප්‍රමාණය දන්නේ ය. ඉදින් මහණෙනි, භික්ෂුව සිවුරු – පිණ්ඩපාත – සෙනසුන් – ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගැනීමෙහි ප්‍රමාණය නොදන්නේ නම්, මෙසසුනෙහි ප්‍රමාණය දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව සිවුරු – පිණ්ඩපාත – සෙනසුන් – ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගැනීමෙහි ප්‍රමාණය දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව ප්‍රමාණය දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්මය දන්නේ ද වෙයි. අර්ථය දන්නේ ද වෙයි. තමාව දන්නේ ද වෙයි. ප්‍රමාණය දන්නේ වෙයි.

5. කාලය දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මේ උදෙසීමට කාලය යි. මේ ප්‍රශ්න ඇසීමට කාලය යි. මේ ධර්මයෙහි යෙදීමට කාලය යි. මේ භාවනාවට කාලය යි’ වශයෙන් කාලය දන්නේ ය. ඉදින් මහණෙනි, භික්ෂුව ‘මේ උදෙසීමට කාලය යි. මේ ප්‍රශ්න ඇසීමට කාලය යි. මේ ධර්මයෙහි යෙදීමට කාලය යි. මේ භාවනාවට කාලය යි’ වශයෙන් කාලය නොදන්නේ නම්, මෙසසුනෙහි කාලය දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව ‘මේ උදෙසීමට කාලය යි. මේ ප්‍රශ්න ඇසීමට කාලය යි. මේ ධර්මයෙහි යෙදීමට කාලය යි. මේ භාවනාවට කාලය යි’ වශයෙන් කාලය දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව කාලය දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්මය දන්නේ ද වෙයි. අර්ථය දන්නේ ද වෙයි. තමාව දන්නේ ද වෙයි. ප්‍රමාණය දන්නේ ද වෙයි. කාලය දන්නේ ද වෙයි.

6. පිරිස දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව ‘මේ ක්ෂත්‍රිය පිරිස ය, මේ බ්‍රාහ්මණ පිරිස ය, මේ ගෘහපති පිරිස ය, මේ ශ්‍රමණ පිරිස ය. එහිලා මෙසේ එළඹිය යුත්තේ ය. මෙසේ සිටිය යුත්තේ ය. මෙසේ කළ යුත්තේ ය. මෙසේ වාඩිවිය යුත්තේ ය. මෙසේ පැවසිය යුත්තේ ය. මෙසේ නිහඬ විය යුත්තේ ය’ වශයෙන් පිරිස දන්නේ ය. ඉදින් මහණෙනි, භික්ෂුව ‘මේ ක්ෂත්‍රිය පිරිස ය, මේ බ්‍රාහ්මණ පිරිස ය, මේ ගෘහපති පිරිස ය, මේ ශ්‍රමණ පිරිස ය. එහිලා මෙසේ එළඹිය යුත්තේ ය. මෙසේ සිටිය යුත්තේ ය. මෙසේ කළ යුත්තේ ය. මෙසේ වාඩිවිය යුත්තේ ය. මෙසේ පැවසිය යුත්තේ ය. මෙසේ නිහඬ විය යුත්තේ ය’ වශයෙන් පිරිස නොදන්නේ නම්, මෙසසුනෙහි පිරිස දන්නෙක් යැයි කියනු නොලබන්නේ ය. මහණෙනි, යම් කරුණක් නිසා භික්ෂුව ‘මේ ක්ෂත්‍රිය පිරිස ය, මේ බ්‍රාහ්මණ පිරිස ය, මේ ගෘහපති පිරිස ය, මේ ශ්‍රමණ පිරිස ය. එහිලා මෙසේ එළඹිය යුත්තේ ය. මෙසේ සිටිය යුත්තේ ය. මෙසේ කළ යුත්තේ ය. මෙසේ වාඩිවිය යුත්තේ ය. මෙසේ පැවසිය යුත්තේ ය. මෙසේ නිහඬ විය යුත්තේ ය’ වශයෙන් පිරිස දන්නේ වෙයි ද, එහෙයින් භික්ෂුව පිරිස දන්නේ යැයි කියනු ලැබේ. මෙසේ ධර්මය දන්නේ ද වෙයි. අර්ථය දන්නේ ද වෙයි. තමාව දන්නේ ද වෙයි. ප්‍රමාණය දන්නේ ද වෙයි. කාලය දන්නේ ද වෙයි. පිරිස දන්නේ ද වෙයි.

7. පුද්ගල උස් පහත් බව දන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා භික්ෂුව විසින් දෙආකාරයකින් පුද්ගලයෝ දන්නා ලද්දාහු ය. පුද්ගලයෝ දෙදෙනෙකි. එක් කෙනෙක් ආර්යයන්ගේ දර්ශනයට කැමති ය. එක් කෙනෙක් ආර්යයන්ගේ දර්ශනයට අකමැති ය. යම් මේ පුද්ගලයෙක් ආර්යයන්ගේ දර්ශනයට අකමැති වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් ආර්යයන්ගේ දර්ශනයට කැමති වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් ආර්යයන්ගේ දර්ශනයට කැමැත්තෝ ය. එක් කෙනෙක් සද්ධර්ම ශ්‍රවණයට කැමති ය. එක් කෙනෙක් සද්ධර්ම ශ්‍රවණයට අකමැති ය. යම් මේ පුද්ගලයෙක් සද්ධර්ම ශ්‍රවණයට අකමැති වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් සද්ධර්ම ශ්‍රවණයට කැමති වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් සද්ධර්ම ශ්‍රවණයට කැමැත්තෝ ය. එක් කෙනෙක් යොමු කළ කන් ඇති ව ධර්මය අසයි. එක් කෙනෙක් යොමු කළ කන් ඇති ව ධර්මය නොඅසයි. යම් මේ පුද්ගලයෙක් යොමු කළ කන් ඇති ව ධර්මය නොඅසයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් යොමු කළ කන් ඇති ව ධර්මය අසයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් කන් යොමා ධර්මය අසති. එක් කෙනෙක් ධර්මය අසා දරා ගනියි. එක් කෙනෙක් ධර්මය අසා දරා නොගනියි. යම් මේ පුද්ගලයෙක් ධර්මය අසා දරා නොගනියි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් ධර්මය අසා දරා ගනියි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් ධර්මය අසා දරා ගනිති. එක් කෙනෙක් දරණ ලද ධර්මයන්ගේ අර්ථය හොඳින් පිරික්සා බලයි. එක් කෙනෙක් දරණ ලද ධර්මයන්ගේ අර්ථය හොඳින් පිරික්සා නොබලයි. යම් මේ පුද්ගලයෙක් දරණ ලද ධර්මයන්ගේ අර්ථය හොඳින් පිරික්සා නොබලයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් දරණ ලද ධර්මයන්ගේ අර්ථය හොඳින් පිරික්සා බලයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් දරා ගත් ධර්මයන්ගේ අර්ථය පිරික්සා බලති. එක් කෙනෙක් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිළිපන්නේ වෙයි. එක් කෙනෙක් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිළිපන්නේ නොවෙයි. යම් මේ පුද්ගලයෙක් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිළිපන්නේ නොවෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ පිළිපන්නේ වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

පුද්ගලයෝ දෙදෙනෙක් අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදුණාහු වෙති. එක් කෙනෙක් තමාට හිත සුව පිණිස පිළිපන්නේ, අනුන්ට හිතසුව පිණිස නොපිළිපන්නේ වෙයි. එක් කෙනෙක් තමාට හිත සුව පිණිස ත් අනුන්ට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි. යම් මේ පුද්ගලයෙක් තමාට හිත සුව පිණිස පිළිපන්නේ, අනුන්ට හිතසුව පිණිස නොපිළිපන්නේ වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් ගැරහිය යුත්තේ ය. යම් මේ පුද්ගලයෙක් තමාට හිත සුව පිණිස ත් අනුන්ට හිතසුව පිණිස ත් පිළිපන්නේ වෙයි ද, මෙසේ ඔහු ඒ අංගයෙන් පැසසිය යුත්තේ ය.

මහණෙනි, මෙසේ භික්ෂුව විසින් දෙආකාරයකින් පුද්ගලයෝ දන්නා ලද්දාහු ය. මෙසේ මහණෙනි, භික්ෂුව පුද්ගල උස්පහත් බව දන්නේ වෙයි.

මහණෙනි, මේ සත් කරුණෙන් සමන්විත වූ භික්ෂුව ආහුනෙය්‍ය ….(පෙ)…. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ධම්මඤ්ඤූ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M