සැවැත් නුවර දී ය …..
මහණෙනි, යම් කලක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණුවලින් මනාකොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නොහැක්කේ යැයි කියනු ලැබේ.
ඒ සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණු මොනවා ද?
1. මහණෙනි, මෙහිලා රජුගේ ඈත පිහිටි නගරයෙහි ගැඹුරට සාරා සිටුවන ලද නොසැලෙන, නොවෙව්ලන ඒෂිකා ස්ථම්භය ඇත්තේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ පළමුවැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
2. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි ගැඹුරු වූත්, පළල් වූත්, දිය අගලක් කණින ලද්දේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ දෙවැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
3. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි ඉතා උස් වූ, පළල් වූ නගර පවුර වටා ඇවිද ගිය හැකි මාවතක් ඇත්තේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ තුන්වැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
4. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි සළාක නම් වූ ද, ජේවනීය නම් වූ ද බොහෝ ආරක්ෂක ආයුධයන් රැස් කරන ලද්දේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ සිව්වැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
5. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි බොහෝ බලසේනාවෝ වසති. එනම්, ඇතුන් පිට නගින සේනාව ය. අසුන් පිට නගින සේනාවෝ ය. රථයන්හි යන සේනාවෝ ය. දුනුවායෝ ය. ධජ ගෙනයනනෝ ය. සේනා රැස් කරන්නෝ ය. ආහාර ගෙන යන්නෝ ය. යුද බිමෙහි බැසගන්නෝ ය. සතුරන් මතට කඩා පනින්නෝ ය. මහා යෝධයෝ ය. මහා ශූරයෝ ය. සන්නාහකයෝ ය. දාස පුත්‍රයෝ ය. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ පස්වැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
6. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි නොදන්නවුන් වළක්වන, දන්නවුන්ට ඇතුළු වෙන්නට අවසර දෙන, නුවණැති, ප්‍රඥාවන්ත වූ, ව්‍යක්ත වූ, දොරටුපාලයෙක් සිටින්නේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ සයවැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
7. තව ද මහණෙනි, රජුගේ ඈත පිහිටි නගරයෙහි උස් වූ, පළල් වූ, සුණු පිරියම් කළ මහා ප්‍රාකාරයක් ඇත්තේ වෙයි. රජුගේ ඈත පිහිටි නගරය අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, මේ සත්වැනි නගරාරක්ෂක කරුණෙන් සුරක්ෂිත වූයේ වෙයි.
මේ සප්ත නගරාරක්ෂක කරුණු වලින් සුරක්ෂිත වෙයි.
කැමති සේ ලබන, නිදුකින් ලබන, බොහෝ සේ ලබන සතර ආහාරයෝ මොනවා ද?
1. මහණෙනි, මෙහිලා ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් තෘණ – දර – දිය ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි.
2. මහණෙනි, මෙහිලා ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් සහල් – යව ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි.
3. මහණෙනි, මෙහිලා ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් තල – මෑ – මුං ආදී සෙසු ආහාරපාන ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි.
4. මහණෙනි, මෙහිලා ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් බෙහෙත් ඖෂධ ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි. එනම් ගිතෙල්, වෙඬරු, තෙල්, මී පැණි, සකුරු, ලුණු ආදිය යි.
මහණෙනි, කැමති සේ ලබන, නිදුකින් ලබන, බොහෝ සේ ලබන සතර ආහාරයෝ මේවා ය.
මහණෙනි, යම් කලක රජෙකුගේ ඈත පිහිටි නගරය සත් වැදෑරුම් නගරාරක්ෂක කරුණුවලින් මනාකොට සුරක්ෂිත කරන ලද්දේ ද, සිව් වැදෑරුම් ආහාරයන් කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, රජුගේ මේ ඈත පිහිටි නගරය බාහිර පසමිතුරු සතුරන් හට දිනිය නොහැක්කේ යැයි කියනු ලැබේ.
මහණෙනි, එසෙයින් ම යම් කලෙක ආර්ය ශ්‍රාවකයා සප්ත ධර්මයකින් සමන්විත වූයේ, ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු ව මෙලොව සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා ව අනතුරෙහි හෙළීම පිණිස පවිටු මාරයා විසින් කිසිවක් කරගත නොහැක්කේ ය. ඒ කවර සප්ත ධර්මයකින් සමන්විත වූයේ ද යත්;
1. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, ගැඹුරට සාරා සිටුවන ලද නොසැලෙන, නොවෙව්ලන ඒෂිකා ස්ථම්භය ඇත්තේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, ශ්‍රද්ධාව නම් වූ ඒෂිකා ස්ථම්භයෙන් යුතු ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ පළමුවෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
2. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, ගැඹුරු වූත්, පළල් වූත්, දිය අගලක් කණින ලද්දේ වෙයි ද, එසෙයින් මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ලැජ්ජා ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් ලැජ්ජා වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට ලැජ්ජා වෙයි. මහණෙනි, ලැජ්ජාව නම් වූ දිය අගලින් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ දෙවෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
3. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, ඉතා උස් වූ, පළල් වූ නගර පවුර වටා ඇවිද ගිය හැකි මාවතක් ඇත්තේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා භය ඇත්තේ වෙයි. කයින් දුසිරිත් කිරීමට ත්, වචනයෙන් දුසිරිත් කිරීමට ත්, සිතින් දුසිරිත් කිරීමට ත් භය වෙයි. ලාමක අකුසල් දහම් ඇති කරගැනීමට භය වෙයි. මහණෙනි, පවට භය නම් වූ මාර්ග පථයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ තුන්වෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
4. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, සළාක නම් වූ ද, ජේවනීය නම් වූ ද බොහෝ ආරක්ෂක ආයුධයන් රැස් කරන ලද්දේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් ධරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කැරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. මහණෙනි, ශ්‍රැතය නම් වූ ආයුධයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ සිව්වෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
5. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, බොහෝ බලසේනාවෝ වසත් ද, එනම්, ඇතුන් පිට නගින සේනාව ය. අසුන් පිට නගින සේනාවෝ ය. රථයන්හි යන සේනාවෝ ය. දුනුවායෝ ය. ධජ ගෙනයන්නෝ ය. සේනා රැස් කරන්නෝ ය. ආහාර ගෙන යන්නෝ ය. යුද බිමෙහි බැසගන්නෝ ය. සතුරන් මතට කඩා පනින්නෝ ය. මහා යෝධයෝ ය. මහා ශූරයෝ ය. සන්නාහකයෝ ය. දාස පුත්‍රයෝ ය. එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, වීරිය නම් වූ බල සේනාවෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ පස්වෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
6. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, නොදන්නවුන් වළක්වන, දන්නවුන්ට ඇතුළු වෙන්නට අවසර දෙන, නුවණැති, ප්‍රඥාවන්ත වූ, ව්‍යක්ත වූ, දොරටුපාලයෙක් සිටින්නේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. මහණෙනි, සිහිය නම් වූ දොරටුපාලයාගෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ හයවෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
7. මහණෙනි, යම් සේ රජුගේ ඈත පිහිටි නගරයෙහි අභ්‍යන්තරවාසීන්ගේ ආරක්ෂාව පිණිස ත්, බාහිර සතුරු බලවේග නැසීම පිණිස ත්, උස් වූ, පළල් වූ, සුණු පිරියම් කළ මහා ප්‍රාකාරයක් ඇත්තේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, ප්‍රඥාව නම් වූ සුණු පිරියම් කරන ලද ප්‍රාකාරයෙන් සමන්විත වූ ආර්ය ශ්‍රාවක තෙමේ අකුසලය අත්හරියි. කුසලය වඩයි. සාවද්‍ය දෙය අත්හරියි. නිරවද්‍ය දේ වඩයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි. මෙසේ සත්වෙනි සද්ධර්මයෙන් සමන්විත වූයේ වෙයි.
මේ සප්ත ධර්මයෙන් යුක්ත වූයේ වෙයි.
මහණෙනි, ගැඹුරු චිත්ත දියුණුව ඇති, මෙලොව ලබන සැප විහරණ ඇති කැමති සේ ලබන, නිදුකින් ලබන, බොහෝ සේ ලබන සතරක් වූ ධ්‍යානයෝ මොනවා ද?
1. මහණෙනි, යම් සේ ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් තෘණ – දර – දිය ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. තමාගේ ඇලී වාසය කිරීම පිණිස ත්, නොතැති ගැනීම පිණිස ත්, පහසු විහරණය පිණිස ත්, නිවනට බැසගැනීම පිණිස ත් ය.
2. මහණෙනි, යම් සේ ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් සහල් – යව ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. තමාගේ ඇලී වාසය කිරීම පිණිස ත්, නොතැති ගැනීම පිණිස ත්, පහසු විහරණය පිණිස ත්, නිවනට බැසගැනීම පිණිස ත් ය.
3. මහණෙනි, යම් සේ ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් තල – මෑ – මුං ආදී සෙසු ආහාරපාන ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි ද, එසෙයින් ම මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. තමාගේ ඇලී වාසය කිරීම පිණිස ත්, නොතැති ගැනීම පිණිස ත්, පහසු විහරණය පිණිස ත්, නිවනට බැසගැනීම පිණිස ත් ය.
4. මහණෙනි, යම් සේ ඈත පිහිටි රජුගේ නගරයෙහි අභ්‍යන්තර ජනයා ඇලී වාසය කිරීම සඳහා ත්, නොතැති ගැනීම සඳහා ත්, පහසුවෙන් වාසය කිරීම සඳහා ත්, බාහිර සතුරු බලවේග නැසීම සඳහා ත් බෙහෙත් ඖෂධ ආදිය බොහෝ සේ රැස් කරන ලද්දේ වෙයි ද, එනම් ගිතෙල්, වෙඬරු, තෙල්, මී පැණි, සකුරු, ලුණු ආදිය යි. එසෙයින් ම මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. තමාගේ ඇලී වාසය කිරීම පිණිස ත්, නොතැති ගැනීම පිණිස ත්, පහසු විහරණය පිණිස ත්, නිවනට බැසගැනීම පිණිස ත් ය.
මහණෙනි, ගැඹුරු චිත්ත දියුණුව ඇති, මෙලොව ලබන සැප විහරණ ඇති කැමති සේ ලබන, නිදුකින් ලබන, බොහෝ සේ ලබන සතරක් වූ ධ්‍යානයෝ මේවා ය.
මහණෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා මේ සප්ත සත්ධර්මයෙන් සමන්විත වූයේ, ගැඹුරු චිත්ත දියුණුවෙන් යුතු ව මෙලොව සැප විහරණ ඇති සතරක් වූ ධ්‍යානයන් කැමති සේ, නිදුකින්, බොහෝ සෙයින් ලබන්නේ ද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවකයා අනතුරෙහි හෙළීම පිණිස පවිටු මාරයා විසින් කිසිවක් කරගත නොහැක්කේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
නගරූපම සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M