අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.1.8. පචලායන සුත්තං

7.2.1.8. නිදි කිරා වැටීම ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මගධ ජනපදයෙහි කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි නිදිකිරා වැටෙමින් වාඩි ව හුන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මිනිස් දැක්ම ඉක්මවාගිය විශුද්ධ වූ දිවැසින් මගධයෙහි කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි වාඩි වී නිදිකිරා වැටෙමින් සිටින ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ව දුටු සේක. දැක බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම භග්ග ජනපදයෙහි සුංසුමාරගිර භේසකලා වනයෙහි මිගදායෙන් නොපෙනී ගොස් මගධයෙහි කල්ලවාලමුත්ත ග්‍රාමයෙහි ආයුෂ්මත් මහා මොග්ගල්ලායන් වහන්සේ ඉදිරියෙහි පහළ වූ සේක. භාග්‍යවතුන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. එසේ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙය වදාළ සේක.

“මොග්ගල්ලානයෙනි, ඔබ නිදිකිරමින් සිටින්නෙහි නොවැ. මොග්ගල්ලානයෙනි, ඔබ නිදිකිරමින් සිටින්නෙහි නොවැ.”

“එසේ ය ස්වාමීනී”

1. “එසේ වී නම් මොග්ගල්ලානයෙනි, ඔබ යම් සංඥාවකින් වාසය කරන කල්හී ඔබ තුළ ඒ නිදිමත බැසගන්නේ නම්, ඒ සංඥාව මෙනෙහි කරන්නට එපා. ඒ සංඥාව බහුල කරන්නට එපා. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

2. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඇසූ පරිදි, හැදෑරූ පරිදි ධර්මය සිතින් අනුවිතර්ක කරන්න. අනුවිචාර කරන්න. මනසින් සළකන්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

3. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඇසූ පරිදි, හැදෑරූ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරන්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

4. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඔබ දෙකන් පෙති ත්, අත් පා ත්, අත්ලෙන් හොඳින් පිරිමදින්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

5. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඔබ හුනස්නෙන් නැගිට සිහිල් දියෙන් දෑස් තෙමා වටපිටාව හොඳින් බලන්න. නැකැත් තරු හොඳින් බලන්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

6. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඔබ ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දවල් ය යන සංඥාව අධිෂ්ඨාන කරන්න. ‘දහවල් යම් සේ ද, රැය ත් එසේ ය. රැය යම් සේ ද, දහවල ත් එසේ ය.’ මෙසේ විවෘත වූ නිදිමත විසින් යට නොකරගත් සිතින් ප්‍රභාෂ්වර සිත වඩන්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

7. ඉදින් මෙසේ වසන කල්හී ඔබ තුළ ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඔබ පෙර පසු සංඥාවෙන් යුතුව අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් යුක්ත ව බැහැර නොගිය සිතින් සක්මන අධිෂ්ඨාන කරන්න. මොග්ගල්ලානයෙනි, මෙසේ වාසය කරන ඔබට ඒ නිදිමත ප්‍රහාණය වන්නේ නම් එකරුණ විය හැකි දෙයකි.

ඉදින් ඔබ මෙසේ වසද්දී ත්, ඒ නිදිමත ප්‍රහාණය නොවෙයි නම්, මොග්ගල්ලානයෙනි, එකල්හී ඔබ දකුණු පාදයෙන් වම් පාදය මදක් ඇලට තබා සිහියෙන් යුතුව, නුවණින් යුතුව නැගිටිමි යි යන සංඥාව මෙනෙහි කොට දකුණු පසින් ඇල ව සිංහ සෙය්‍යාවෙන් සැතපෙන්න. මොග්ගල්ලානයෙනි, ඔබ විසින් අවදි වූ සැණින් වහා නැගිටිය යුත්තේ ය. නිද්‍රා සැපයෙහි, ස්පර්ශ සැපයෙහි, අලස සැපයෙහි නැවත නැවත යෙදෙමින් වාසය නොකරන්නෙමි යි මොග්ගල්ලානයෙනි, මෙසේ ඔබ විසින් හික්මිය යුත්තේ ය.

එහෙයින් මොග්ගල්ලානයෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘මානය නැමති සොඬවැල දැඩි ව ඔසොවාගෙන දායක පවුල් කරා නොඑළඹෙන්නෙමි’ යි මෙසේ ත් ඔබ විසින් හික්මිය යුත්තේ ය.

ඉදින් මොග්ගල්ලානයෙනි, භික්ෂුවක් මාන්නය නැමැති සොඬවැල දැඩි ව ඔසොවාගෙන කුලයන් කරා එළඹෙයි නම්, මොග්ගල්ලානයෙනි, යම් කරුණකින් මිනිස්සු පිඬු සිඟා වැඩි භික්ෂුව මෙනෙහි නොකරත් නම්, දායක පවුල් හි එබඳු කළ යුතු කරුණු ඇතිවෙයි. එහිදී භික්ෂුවට මෙසේ සිතෙයි. ‘කවුරුන් හෝ මේ දායක පවුල් කෙරෙහි මා ගැන අපැහැදුවා වත් ද? දැන් මේ මිනිස්සු මා කෙරෙහි නොඇලෙන ස්වභාවයෙන් යුක්තයි නොවැ’ යි මෙසේ ඔහු අලාභයෙන් හැකිලී යයි. මකු වූවහුගේ සිත නොසංසුන් වෙයි. නොසංසුන් වූ තැනැත්තා අසංවර වෙයි. අසංවර වූවහුගේ සිත සමාධියෙන් තොර වෙයි.

එහෙයින් මොග්ගල්ලානයෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. ‘අර්බුද ඇතිවන කතා නොකරන්නෙමි’ යි මොග්ගල්ලානයෙනි, ඔබ විසින් මෙසේ ත් හික්මිය යුත්තේ ය. මොග්ගල්ලානයෙනි, අර්බුද ඇතිවන කතා කරන කල්හී බොහෝ කතා බහ ඇතිවීම කැමති විය යුත්තේ ය. බොහෝ කතා බහ ඇති කල්හී සිත නොසංසුන් වෙයි. නොසංසුන් වූ තැනැත්තා අසංවර වෙයි. අසංවර වූවහුගේ සිත සමාධියෙන් තොර වෙයි.

මොග්ගල්ලානයෙනි, මම සියළු ම එක් ව වාසය කිරීම් වර්ණනා නොකරමි. මොග්ගල්ලානයෙනි, මම සියළු ම එක් ව වාසය කිරීම් නොවර්ණනා ද නොකරමි. මොග්ගල්ලානයෙනි, ගිහියන් හා පැවිද්දන් සමඟ එක් ව වාසය කිරීම මම වර්ණනා නොකරමි. යම් කිසි සේනාසනයෝ අල්ප ශබ්දයෙන් යුතු වෙත් ද, අල්ප ඝෝෂාවෙන් යුතු වෙත් ද, ජනයා පිස හමන සුළඟින් තොර වෙත් ද, මිනිසුන්ගේ ගුප්ත ක්‍රියාවන්ට යෝග්‍ය වෙත් ද, භාවනාවට හිත වෙත් ද, එබඳු වූ සෙනසුන් හා එක් ව වාසය කිරීම මම වර්ණනා කරමි.”

මෙසේ වදාළ කල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, සංක්ෂේපයෙන් කියන්නේ නම්, භික්ෂුවක් තණ්හාව ගෙවා දැමීමෙන්, දුකෙන් නිදහස් වෙයි නම්, අත්‍යන්ත නිෂ්ඨාවට පැමිණෙයි නම්, අත්‍යන්ත යෝගක්ඛේමී වූයේ නම්, අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ නම්, අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි නිමාවට පැමිණියේ නම්, දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූයේ නම්, ඒ කවර කරුණු මත ද?”

“මොග්ගල්ලානයෙනි, මෙහිලා භික්ෂුව සියළු ධර්මයෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තෝ ය යි අසන ලද්දේ වෙයි. මොග්ගල්ලානයෙනි, මෙසේ භික්ෂුව සියළු ධර්මයෝ තෘෂ්ණා දෘෂ්ටි වලින් නොබැසගත යුත්තෝ ය යි අසන ලද්දේ වෙයි. ඔහු සියළු ධර්මයන් මැනවින් දැනගනියි. ඔහු සියළු ධර්මයන් විශිෂ්ට නුවණින් දැන, සියළු ධර්මයන් පිරිසිඳ දැනගනියි. සියළු ධර්මයන් පිරිසිඳ දැන සැප වේවා, දුක් වේවා, දුක්සැප රහිත වේවා යම් කිසි විඳීමක් විඳියි නම් ඔහු ඒ විඳීම් පිළිබඳ ව අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරයි. නොඇල්ම දකිමින් වාසය කරයි. තෘෂ්ණා නිරෝධය දකිමින් වාසය කරයි. තෘෂ්ණාව දුරැලීම දකිමින් වාසය කරයි. ඔහු ඒ වේදනාවන්හී අනිත්‍ය වශයෙන් බලමින් වාසය කරන්නේ, නොඇල්ම දකිමින් වාසය කරන්නේ, තෘෂ්ණා නිරෝධය දකිමින් වාසය කරන්නේ, තෘෂ්ණාව දුරැලීම දකිමින් වාසය කරන්නේ, ලෝකයෙහි කිසිවකට ග්‍රහණය නොවෙයි. ග්‍රහණය නොවන්නේ නොතැති ගනියි. නොතැති ගන්නේ තමා තුළ ම පිරිනිවී යයි. ‘ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිමවන ලද්දේ ය. කළ යුත්ත කරන ලද්දේ ය. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ’යි දැනගන්නේ ය.

මොග්ගල්ලානයෙනි, සංක්ෂේපයෙන් කියන්නේ නම්, භික්ෂුවක් තණ්හාව ගෙවා දැමීමෙන්, දුකෙන් නිදහස් වෙයි නම්, අත්‍යන්ත නිෂ්ඨාවට පැමිණෙයි නම්, අත්‍යන්ත යෝගක්ඛේමී වූයේ නම්, අත්‍යන්ත බ්‍රහ්මචාරී වූයේ නම්, අත්‍යන්තයෙන් ම නිවන් මගෙහි නිමාවට පැමිණියේ නම්, දෙව් මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූයේ නම්, එය මෙපමණකින් කිව හැක්කේ ය.

සාදු! සාදු!! සාදු!!!

පචලායන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M