සැවැත් නුවර දී ය …..
මහණෙනි, පින්වලට භය වෙන්නට එපා. මහණෙනි, යම් මේ පින යනු මේ සැපයට කියන නමකි.
මහණෙනි, මම වනාහී බොහෝ කලක් කරන ලද පින්වල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ විපාක බොහෝ කල් විඳින ලද බව හොඳින් දනිමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කළෙමි. සත් වර්ෂයක් මෛත්‍රී චිත්තය දියුණු කොට නැසෙන වැඩෙන සත් කල්පයක් මේ මිනිස් ලොවට නැවත නොපැමිණියෙමි. ලෝකය නැසෙන කල්හී මම ආභස්සර ලොවට පැමිණියෙමි. ලෝකය හැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයක උපන්නෙමි. මහණෙනි, එහි ද මම බ්‍රහ්මයා වෙමි. මහා බ්‍රහ්මයා වෙමි. සියල්ල මැඩලමි. අනුන් විසින් නොමැඩිය හැක්කෙමි. සියල්ල දක්නාසුළු වූයෙමි. වසඟයෙහි පැවැත්වූයෙමි. මහණෙනි, මම වනාහී තිස් හය වතාවක් ශක්‍ර දේවේන්ද්‍ර තනතුර ලැබුවෙමි. ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තී රජු වූයෙමි. සිව් මහා සමුදුර හිම් කොට ඇති පෘථිවියෙහි දිනන ලද්දෙමි. ජනපදයන්හි ස්ථිරභාවයට පත්වූයෙමි. සප්ත රත්නයෙන් යුක්ත වූයෙමි. මහණෙනි, ඒ මට මේ සප්ත රත්නයෝ තිබුණාහු ය. එනම් චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය සහ සත්වැනි පුත්‍රරත්නය යි. මහණෙනි, මට ශූර වීර වූ පරසෙන් මඩින්නා වූ දහසකට වැඩි පුත්‍රයෝ සිටියාහු ය. එබඳු වූ මම සයුර හිම් කොට පොළොව දඬු මුගුරුවලින් තොර ව, අවි ආයුධ වලින් තොර ව, ධර්මයෙන් දිනා වාසය කළෙමි.
(ගාථා)
1. සැප කැමැත්තනි, කුසල් සංඛ්‍යාත පුණ්‍යයන්ගේ සැප විපාකය දකිව්. මහණෙනි, සත් වසක් මෙත් සිත වඩා නැසෙන සැදෙන සප්ත කල්පයක් මේ මනුලොවට නැවත නොආයෙමි.
2. කල්පය නැසෙන කල්හී ආභස්සර ලොවට ගියෙමි. කල්පය සැදෙන කල්හී ශූන්‍ය වූ බ්‍රහ්ම විමානයකට ගියෙමි.
3. එකල්හී සත් වතාවක් සියල්ල වසඟයෙන් පවත්නා මහා බ්‍රහ්මයා වූයෙමි. තිස් හය වතාවක් සක්දෙව් රජ ව දිව්‍ය රාජ්‍යය කළෙමි.
4. ජම්බුද්වීපයෙහි අධිපති ව සක්විති රජ වූයෙමි. ඔටුණු පැළඳූ ක්ෂත්‍රියයෙකු ව මනුෂ්‍යයන්ට අධිපති ව සිටියෙමි.
5. දඬුවම් රහිත ව, අවිආයුධ රහිත ව මේ පොළොව දිනා නොසැහැසිකමින් දැහැමින් සෙමින් රාජ්‍යානුශාසනා කළෙමි.
6. මේ පෘථිවි මණ්ඩලයෙහි දැහැමින් රාජ්‍යය කොට මහත්ධන ඇති, මහත් භෝග ඇති ආඪ්‍ය වූ කුලයෙහි උපන්මි.
7. සියළු කාම වස්තූන්ගෙන් යුක්ත ව, සප්ත රත්නයෙන් යුක්ත ව සිටියෙමි. ලෝකයෙහි බුදුවරු සංග්‍රහ කරන්නෝ වෙති. උන්වහන්සේලා විසින් මෙය මැනැවින් දෙසන ලද්දේ ය.
8. යම් කරුණකින් පෘථිවියෙහි අධිපති ව බොහෝ සැප සම්පත් වලින් යුතු ව ප්‍රතාපවත් රජෙක් වෙමි යි කියනු ලැබෙයි නම් ඒ මහත් බවට හේතුවකි.
9. ජම්බුද්වීපයෙහි අධිපති වූයෙම්, ඉර්ධිමත් වූයෙම්, යශස්වී වුණෙමි. පින් මඳ ලාමක උපතක් ලද කෙනෙක් වුවත් කවරෙක් නම් එය අසා නොපහදින්නේ ද?
10. එහෙයින් යහපත කැමති වූ මහත්බව පතන්නහු විසින් බුදුරජුන්ගේ අනුශාසනාව සිහි කොට මෛත්‍රිය නම් වූ සද්ධර්මයට ගරු කළ යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
මා පුඤ්ඤභායී සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M