එක් සමයෙක් හි භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවෙසෙන සේක. එකල්හී සීහ සේනාපති භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් සීහ සේනාපති තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, සන්දිට්ඨික දානඵල පණවන්නට හැකිසේක් ද?”
“එසේ වී නම් සීහයෙනි, එහිලා ඔබගෙන් ම අසන්නෙමි. ඔබට යම් පරිදි වැටහෙයි නම් ඒ අයුරින් පවසන්න.
1. සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? මෙහිලා පුරුෂයෝ දෙදෙනෙක් සිටිති. ඉන් එක් පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙකි. තව පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙකි. සීහය, ඒ කිමෙකැයි හඟනෙහි ද? රහත්හු පළමුකොට අනුකම්පා කරත් නම්, කවරක්හුට අනුකම්පා කරන්නාහු ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහුට ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහුට ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, රහත්හු අනුකම්පා කරත් නම්, පළමු කොට මක් නිසා ඔහුට අනුකම්පා කරන්නාහු ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, රහත්හු අනුකම්පා කරත් නම්, පළමු කොට ඔහුට අනුකම්පා කරන්නාහු ය.”
2. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? රහත්හු පළමුකොට එළඹෙත් නම්, කවරක්හු කරා එළඹෙන්නාහු ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහු කරා ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහු කරා ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, රහත්හු එළඹෙත් නම්, පළමු කොට මක් නිසා ඔහු කරා එළඹෙන්නාහු ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, රහත්හු එළඹෙත් නම්, පළමු කොට ඔහු කරා එළඹෙන්නාහු ය.”
3. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? රහත්හු පළමුකොට දන් පිළිගන්නාහු නම්, කවරක්හුගේ දන් පිළිගන්නාහු ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහුගේ ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහුගේ ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, රහත්හු දන් පිළිගනිත් නම්, පළමු කොට මක් නිසා ඔහුගෙන් දන් පිළිගන්නාහු ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, රහත්හු දන් පිළිගනිත් නම්, පළමු කොට ඔහුගේ දන් පිළිගන්නාහු ය.”
4. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? රහත්හු පළමුකොට දහම් දෙසත් නම්, කවරක්හුට දෙසන්නාහු ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහුට ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහුට ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, රහත්හු දහම් දෙසත් නම්, පළමු කොට මක් නිසා ඔහුට දෙසන්නාහු ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, රහත්හු දහම් දෙසත් නම්, පළමු කොට ඔහුට දෙසන්නාහු ය.”
5. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? කවරක්හුගේ කල්‍යාණ කීර්ති ඝෝෂාවක් පැතිර යන්නේ වෙයි ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහුගේ ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහුගේ ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, කුමක් හෙයින් ඔහුගේ කලණ කිතු ගොස පැතිර යන්නේ ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, ඔහුගේ ම කලණ කිතු ගොස පැතිර යන්නේ ය.”
6. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? ක්ෂත්රිය පිරිසක් වේවා බ්‍රාහ්මණ පිරිසක් වේවා ගෘහපති පිරිසක් වේවා ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම වූ පිරිසක් කරා කවරෙක් නම් මකු නොවී, විශාරද ව එළඹෙන්නේ ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහු ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහු ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, ක්ෂත්රිය පිරිසක් වේවා බ්‍රාහ්මණ පිරිසක් වේවා ගෘහපති පිරිසක් වේවා ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම වූ පිරිසක් කරා කුමක් හෙයින් ඔහු මකු නොවී, විශාරද ව එළඹෙන්නේ ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, ක්ෂත්රිය පිරිසක් වේවා බ්‍රාහ්මණ පිරිසක් වේවා ගෘහපති පිරිසක් වේවා ශ්‍රමණ පිරිසක් වේවා, යම් ම වූ පිරිසක් කරා ඔහු නම් මකු නොවී, විශාරද ව එළඹෙන්නේ ය.”
7. “සීහයෙනි, ඒ කිමෙකැයි හඟනෙහි ද? කවරෙක් නම් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ද? යම් ඒ පුරුෂයෙක් ශ්‍රද්ධා නැති, මසුරු, තද මසුරු, අනුන්ට ගරහන්නෙක් වෙයි නම් ඔහු ද? යම් ඒ පුරුෂයෙක් සැදැහැවත්, දානපති, දන් දීමෙහි ඇළුණු කෙනෙක් වෙයි නම් ඔහු ද?”
“ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැ නැත්තේ, මසුරු වූයේ, දැඩි මසුරු වූයේ, අනුන්ට ගරහන්නේ වෙයි ද, කුමක් හෙයින් ඔහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ද?
ස්වාමීනී, යම් ඒ පුරුෂයෙක් සැදැහැවත් වූයේ, දානපති වූයේ, දන් දීමෙහි ඇළුණේ වෙයි ද, ඔහු නම් කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සන්දිට්ඨික වූ දානඵල සයක් පිළිබඳ ව වදාරණ ලද්දේ ද, එහිලා මම හුදෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් පමණක් නොගනිමි. මම් මැ මේ දානඵල දනිමි.
ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. රහත්හු අනුකම්පා කරන්නාහු, මට ම පළමු කොට අනුකම්පා කරති. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. රහත්හු එළඹෙන්නාහු, මා කරා ම පළමු කොට එළඹෙති. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. රහත්හු දන් පිළිගන්නාහු, පළමු කොට මගේ දන් පිළිගනිති. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. රහත්හු දහම් දෙසන්නාහු, මට ම පළමු කොට දහම් දෙසති. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. මා පිළිබඳ ව ‘සීහ සේනාපති තෙමේ දායකයෙකි. කාරකයෙකි. සංඝෝපස්ථායකයෙකි’ යි කලණ කිතුගොසක් පැන නංගේ ය. ස්වාමීනී, මම දන් දෙන දානපතියෙක්මි. ක්ෂත්රිය පිරිසක් වේවා බ්‍රාහ්මණ පිරිසක් වේවා ගෘහපති පිරිසක් වේවා ශ්‍රමණ පිරිසක් වේවා යම් ම පිරිසක් අතරට යන්නෙම් නම්, මම විශාරද ව නොමකු ව යමි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඒ සන්දිට්ඨික වූ දානඵල සයක් පිළිබඳ ව වදාරණ ලද්දේ ද, එහිලා මම හුදෙක් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ ව ශ්‍රද්ධාවෙන් පමණක් නොගනිමි. මම් මැ මේ දානඵල දනිමි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මා හට යමක් මෙසේ වදාළ සේක් ද, ‘සීහයෙනි, දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය’ කියා මෙකරුණ මම නොදනිමි. මෙහිලා මම වනාහී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් ගනිමි.”
“සීහයෙනි, එය එසේ ම ය. සීහයෙනි, එය එසේ ම ය. සීහයෙනි, දන් දෙන දානපති තෙමේ කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදින්නේ ය.”
සාදු! සාදු!! සාදු!!!
සීහසේනාපති සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M