අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.1.5. අරක්ඛෙය්‍ය සුත්තං

7.2.1.5. නොරැක්ක යුතු දේ ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ නොරැක්ක යුතු කරුණු සතරකි. දොස් නොලැබිය යුතු කරුණු තුනකි.

තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු සතර මොනවා ද?

1. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ කාය සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ කාය දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් කාය දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ කාය දුෂ්චරිතයක් නැත්තේ ය.

2. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ වචී සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ වචී දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් වචී දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ වචී දුෂ්චරිතයක් නැත්තේ ය.

3. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ මනෝ සමාචාර ඇත්තාහු ය. ‘මාගේ මේ මනෝ දුෂ්චරිතය අන්‍යයෙකු නොදනීවා’ යි යම් මනෝ දුෂ්චරිතයක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මනෝ දුෂ්චරිතයක් නැත්තේ ය.

4. මහණෙනි, තථාගතයාණෝ පාරිශුද්ධ වූ ජීවිකාව ඇත්තාහු ය. ‘මාගේ මේ මිථ්‍යා ජීවිකාව අන්‍යයෙකු නොදනීවා’ යි යම් මිථ්‍යා ජීවිකාවක් තථාගතයෝ රකිත් නම්, තථාගතයන්ගේ එබඳු වූ මිථ්‍යා ජීවිකාවක් නැත්තේ ය.

මේ වනාහී තථාගතයන් වහන්සේගේ නොරැක්ක යුතු කරුණු සතර යි.

තථාගතයන් දොස් නොලබන කරුණු තුන මොනවා ද?

1. මහණෙනි, තථාගතයාණෝ ස්වක්ඛාත ධර්මය ඇත්තාහු ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් ඔබ ස්වාක්ඛාත ධර්මය ඇත්තාහු නොවෙති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.

2. මහණෙනි, යම් අයුරකින් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, මා විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමිනී ප්‍රතිපදාව යහපත් ලෙස පණවන ලද්දේ ය. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් යම් අයුරකින් තථාගත ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරත් නම්, ඔබ විසින් ශ්‍රාවකයන් හට එබඳු නිර්වාණගාමිනී ප්‍රතිපදාව යහපත් ලෙස නොපණවන ලද්දේ’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.

3. මහණෙනි, නොයෙක් සිය ගණන් මාගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරති. එහිලා ශ්‍රමණයෙක් වේවා, බ්‍රාහ්මණයෙක් වේවා, දෙවියෙක් වේවා, මාරයෙක් වේවා, බ්‍රහ්මයෙක් වේවා ලෝකයෙහි කිසිවෙක් වේවා ඒකාන්ත කොට කරුණු සහිත ව මට චෝදනා කරන්නේ නම්, ‘මෙසේ ත් නොයෙක් සිය ගණන් ඔබගේ ශ්‍රාවකයෝ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම තම විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය නොකරති’ යි. මහණෙනි, එබඳු නිමිත්තක් වත් මම නොදකිමි. මහණෙනි, මම එබඳු නිමිත්තක් වත් නොදකින්නෙම්, ක්ෂේමයට පැමිණියෙම්, නිර්භයට පැමිණියෙම්, විශාරදභාවයට පැමිණියෙම් වාසය කරමි.

මේ කරුණු තුනෙන් තථාගතයෝ දොස් නොලබති.

මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ නොරැක්ක යුතු කරුණු සතරකි. දොස් නොලබන කරුණු තුනකි.

සාදු! සාදු!! සාදු!!!

අරක්ඛෙය්‍ය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M