අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.2.1.3. තිස්ස බ්‍රහ්ම සුත්තං

7.2.1.3. තිස්ස බ්‍රහ්මයා ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී දෙවිවරු දෙදෙනෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත වර්ණයෙන් යුතුව මුළුමහත් ගිජ්ඣකූටය බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මේ භික්ෂුණීහු දුකින් මිදුණාහු ය.”

අනෙක් දෙවියා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, මේ භික්ෂුණීහු උපාදාන ඉතිරි නැති ව මැනැවින් මිදුණාහු ය.”

ඒ දෙවිවරු මෙය පැවසූහ. ශාස්තෘන් වහන්සේ අනුමත කළ සේක. එකල්හී ඒ දෙවිවරු ‘භාග්‍යවතුන් වහන්සේ අපගේ භාෂිතය අනුමත කළ සේකැ’යි භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, මේ රාත්‍රියෙහි දෙවිවරු දෙදෙනෙක් මැදියම් රැයෙහි මනස්කාන්ත වර්ණයෙන් යුතුව මුළුමහත් ගිජ්ඣකූටය බබුළුවාගෙන මා කරා පැමිණියහ. පැමිණ මා හට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්හ. එකත්පස් ව සිටි එක් දෙවියෙක් මා හට මෙය පැවසුවේ ය.

‘ස්වාමීනී, මේ භික්ෂුණීහු දුකින් මිදුණාහු ය.’

අනෙක් දෙවියා මා හට මෙය පැවසුවේ ය.

‘ස්වාමීනී, මේ භික්ෂුණීහු උපාදාන ඉතිරි නැති ව මැනැවින් මිදුණාහු ය.’

මහණෙනි, ඒ දෙවිවරු මෙය පැවසූහ. මෙය පවසා මා හට සකසා වන්දනා කොට පැදකුණු කොට එහි ම නොපෙනී ගියහ.”

එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වැඩහුන්හ. ඉක්බිති මහා මොග්ගල්ලානයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය. සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හට දැයි.

එසමයෙහි තිස්ස නම් භික්ෂුවක් නොබෝ කල්හී කළුරිය කළේ එක්තරා බ්‍රහ්ම ලෝකයක උපන්නේ වෙයි. එහි ද ඔහු පිළිබඳ ව මෙසේ දනිති. ‘තිස්ස බ්‍රහ්ම තෙමේ මහා ඉර්ධි ඇත්තේ ය. මහානුභාව ඇත්තේ ය’ යනුවෙනි.

ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ ඇතක් දිගහරින්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එබඳු කලක් තුළ ජේතවනයෙන් නොපෙනී ගොස් ඒ බ්‍රහ්ම ලෝකයෙහි පහළ වූ සේක. තිස්ස බ්‍රහ්ම තෙමේ දුරින් ම වඩිනා ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ දුටුවේ ය. දැක ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, වඩිනා සේක්වා! මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, මනා වැඩම කිරීමකි. මොග්ගල්ලාන නිදුකාණන් වහන්සේ මෙහි වැඩම කිරීම සඳහා බොහෝ කලකින් ඉඩ ලබා ගත් සේක. මොග්ගල්ලාන නිදුකාණන් වහන්ස, මේ අසුනක් පණවන ලද්දේ ය. වැඩ හිඳිනු මැනැව.”

එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. තිස්ස බ්‍රහ්ම තෙමේ ද ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් තිස්ස බ්‍රහ්මයා හට ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ මෙය වදාළ සේක.

“තිස්සයෙනි, සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් තිබෙන්නේ කවර දෙවියන් හට ද?”

“මොග්ගල්ලාන නිදුකාණෙනි, සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට බ්‍රහ්මකායික දෙවියන්ට මෙසේ ඥානයක් ඇත්තේ ය.”

“තිස්සයෙනි, සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට සියළු ම බ්‍රහ්මකායික දෙවියන් හට එබඳු ඥානයක් ඇත්තේ ද?”

“මොග්ගල්ලාන නිදුකාණෙනි, සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට සියළුම බ්‍රහ්මකායික දෙවියන්ට මෙසේ ඥානයක් නැත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් ඒ බ්‍රහ්මකායික දෙවිවරු බ්‍රහ්මයින් සතු ආයුෂයෙන් සතුටු වෙත් ද, බ්‍රහ්ම පැහැයෙන් සතුටු වෙත් ද, බ්‍රහ්ම සැපයෙන් සතුටු වෙත් ද, බ්‍රහ්ම යසසින් සතුටු වෙත් ද, බ්‍රහ්ම අධිපති බවින් සතුටු වෙත් ද, මත්තෙහි ත් එයින් නිදහස් වීමක් පිළිබඳ ව ඒ වූ සැටියකින් නොදනිත් ද, ඔවුන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් නැත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, යම් ඒ බ්‍රහ්මකායික දෙවිවරු බ්‍රහ්මයින් සතු ආයුෂයෙන් සතුටු නොවෙත් ද, බ්‍රහ්ම පැහැයෙන් සතුටු නොවෙත් ද, බ්‍රහ්ම සැපයෙන් සතුටු නොවෙත් ද, බ්‍රහ්ම යසසින් සතුටු නොවෙත් ද, බ්‍රහ්ම අධිපති බවින් සතුටු නොවෙත් ද, මත්තෙහි ත් එයින් නිදහස් වීමක් පිළිබඳ ව ඒ වූ සැටියකින් දනිත් ද, ඔවුන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, මෙහිලා භික්ෂුවක් උභතෝභාග විමුක්ත වෙයි. ඔහු පිළිබඳ ව දෙවිවරු මෙසේ දනිති. ‘මේ ආයුෂ්මත් තෙමේ උභතෝභාග විමුක්තයෙකි. මොහුගේ කය යම්තාක් පවතියි ද, ඒ තාක් මොහු දෙවි මිනිස්සු දකිති. කය බිඳී යාමෙන් පසු දෙවි මිනිස්සු නොදකිති’ යි. මෙසේ ත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඒ දෙවියන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, මෙහිලා භික්ෂුවක් පඤ්ඤාවිමුක්ත වෙයි. ඔහු පිළිබඳ ව ඒ දෙවිවරු මෙසේ දනිති. ‘මේ ආයුෂ්මත් තෙමේ පඤ්ඤාවිමුක්තයෙකි. මොහුගේ කය යම්තාක් පවතියි ද, ඒ තාක් මොහු දෙවි මිනිස්සු දකිති. කය බිඳී යාමෙන් පසු දෙවි මිනිස්සු මොහු නොදකිති’ යි. මෙසේ ත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඒ දෙවියන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, මෙහිලා භික්ෂුවක් කායසක්ඛී වෙයි. ඔහු පිළිබඳ ව ඒ දෙවිවරු මෙසේ දනිති. ‘මේ ආයුෂ්මත් තෙමේ කායසක්ඛී කෙනෙකි. මේ ආයුෂ්මත්හු ගැලපෙන සෙනසුන් සේවනය කරමින්, කලණ මිතුරන් ඇසුරු කරමින්, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම කරමින් වසන්නාහු නම්, යම් කරුණක් උදෙසා කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලබත් ද, බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්වාණය මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට පැමිණ වසන්නාහු නම් මැනැවැ’ යි. මෙසේ ත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඒ දෙවියන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.

මොග්ගල්ලාන නිදුකාණෙනි, මෙහිලා භික්ෂුවක් දිට්ඨප්පත්ත වෙයි. ….(පෙ)…. සද්ධාවිමුත්ත වෙයි ….(පෙ)…. ධම්මානුසාරී වෙයි ඔහු පිළිබඳ ව ඒ දෙවිවරු මෙසේ දනිති. ‘මේ ආයුෂ්මත් තෙමේ ධම්මානුසාරී කෙනෙකි. මේ ආයුෂ්මත්හු ගැලපෙන සෙනසුන් සේවනය කරමින්, කලණ මිතුරන් ඇසුරු කරමින්, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම කරමින් වසන්නාහු නම්, යම් කරුණක් උදෙසා කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලබත් ද, බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්වාණය මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට පැමිණ වසන්නාහු නම් මැනැවි’ යි. මෙසේ ත් මොග්ගල්ලාන නිදුකාණෙනි, ඒ දෙවියන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.”

ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ තිස්ස බ්‍රහ්මයාගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිග හරින්නේ යම් සේ ද, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද එසෙයින් ම බඹලොවින් නොපෙනී ගොස් ගිජ්ඣකූටයෙහි පහළ වූහ.

එකල්හී ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ තිස්ස බ්‍රහ්මයා සමඟ යම්තාක් කථා සල්ලාපයක් වූයේ ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේට සැළකළහ.

“මොග්ගල්ලානයෙනි, තිස්ස බ්‍රහ්මයා සත්වැනි අනිමිත්ත විහාරී පුද්ගලයා පිළිබඳ ව පැවසුවේ නැහැ නොවැ.”

“භාග්‍යවතුන් වහන්ස, යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ සත්වැනි අනිමිත්ත විහාරී පුද්ගලයා පිළිබඳ ව දෙසන සේක් නම්, මේ එයට කාලය යි. සුගතයන් වහන්ස, මේ එයට කාලය යි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරා ගන්නාහු ය.”

“එසේ වී නම් මොග්ගල්ලානයෙනි, අසව. මැනැවින් මෙනෙහි කරව. පවසන්නෙමි.”

“එසේ ය, ස්වාමීනී”යි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මොග්ගල්ලානයෙනි, මෙහිලා භික්ෂුව සියළු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත චිත්ත සමාධිය උපදවාගෙන වාසය කරයි. ඒ දෙවිවරු ඔහු ව මෙසේ දනිති. ‘මේ ආයුෂ්මත් තෙමේ සියළු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත චිත්ත සමාධිය උපදවාගෙන වාසය කරන කෙනෙකි. මේ ආයුෂ්මත්හු ගැලපෙන සෙනසුන් සේවනය කරමින්, කලණ මිතුරන් ඇසුරු කරමින්, ශ්‍රද්ධාදී ඉන්ද්‍රියන් සම කරමින් වසන්නාහු නම්, යම් කරුණක් උදෙසා කුලපුත්‍රයෝ මැනැවින් ගිහි ගෙයින් නික්ම අනගාරික පැවිද්ද ලබත් ද, බඹසර අවසන් කොට ඇති ඒ අනුත්තර නිර්වාණය මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් දැන පසක් කොට පැමිණ වසන්නාහු නම් මැනැව’ යි. මෙසේ ත් මොග්ගල්ලානයෙනි, ඒ දෙවියන් හට සෝපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව සෝපාදිසේස වශයෙනුත්, අනුපාදිසේස පුද්ගලයන් පිළිබඳ ව අනුපාදිසේස වශයෙනුත් දැනගන්නට මෙබඳු ඥානයක් ඇත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

තිස්සබ්‍රහ්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M