එක් සමයක භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරයෙහි ගග්ගරා පොකුණු තෙර වැඩවසන සේක. එකල්හී චම්පා නගරවාසී බොහෝ උපාසකවරු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කරා පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් චම්පා නගරවාසී උපාසකවරු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ වෙතින් අප විසින් ධර්ම කථාවන් අසා බොහෝ කල් ඇත්තේ ය. ස්වාමීනී, අපි භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාවක් ශ්‍රවණය කරන්නට ලබන්නෙමු නම් ඉතා යහපති.”
“එසේ වී නම් ආයුෂ්මත්නි, පොහෝ දිනයට පැමිණෙව්. භාග්‍යවතුන් වහන්සේ වෙතින් ධර්ම කථාවක් ශ්‍රවණය කරන්නට අවස්ථාව ලබන්නාහු නම් මැනැවි.”
“එසේ ය, ස්වාමීනී” යි. ඒ චම්පා නුවරවාසී උපාසකවරු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දී නැගී සිට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සකසා වන්දනා කොට, පැදකුණු කොට පිටත් ව ගියහ.
ඉක්බිති චම්පා නුවරවාසී උපාසකවරු ඒ පොහෝ දිනයෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියාහු ය. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ උපාසකවරුන් සමඟ භාග්‍යවතුන් වහනසේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල නැත්තේ නම්, මහානිශංස නැත්තේ නම්, එබඳු වූ දානයක් ඇද්ද? ස්වාමීනී, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල ඇත්තේ නම්, මහානිශංස ඇත්තේ නම්, එබඳු වූ දානයක් ඇද්ද?”
“සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල නැත්තේ නම්, මහානිශංස නැත්තේ නම්, එබඳු වූ දානයක් ඇත්තේ ය. සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල ඇත්තේ නම්, මහානිශංස ඇත්තේ නම්, එබඳු වූ දානයක් ඇත්තේ ය.”
“ස්වාමීනී, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල නැත්තේ නම්, මහානිශංස නැත්තේ නම්, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද? ස්වාමීනී, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල ඇත්තේ නම්, මහානිශංස ඇත්තේ නම්, එයට හේතුව කුමක් ද? එයට ප්‍රත්‍යය කුමක් ද?”
1. “සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙක් අපේක්ෂා සහිත ව දන් දෙයි. විපාක ලබන අදහසින් යුතුව දන් දෙයි. සසරට රැස් කරනු පිණිස දන් දෙයි. මෙම දානයෙහි විපාකය පරලොව දී අනුභව කරන්නෙමි යි දන් දෙයි. හේ ශ්රමණයෙකුට වේවා බ්රාහ්මණයෙකුට වේවා ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයනාසන, ආවාස, ප්‍රදීප උපකරණ ආදිය දන් දෙයි. සාරිපුත්තයෙනි, ඒ කිමෙකැයි හඟන්නෙහි ද? මෙහිලා ඇතැමෙක් මෙබඳු වූ දන් දෙන්නේ ද?”
“එසේ ය ස්වාමීනී.”
“සාරිපුත්තයෙනි, එහිලා ඇතැමෙක් අපේක්ෂා සහිත ව දන් දෙයි නම්, විපාක ලබන අදහසින් යුතුව දන් දෙයි නම්, සසරට රැස් කරනු පිණිස දන් දෙයි නම්, මෙම දානයෙහි විපාකය පරලොව දී අනුභව කරන්නෙමි යි දන් දෙයි නම්, හේ ඒ දන් දී කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙවියන් අතර උපදියි. හේ ඒ කර්ම විපාකය ගෙවා දමා ඒ ඉර්ධිය, ඒ යසස, ඒ අධිපති බව ගෙවා දමා මෙලොවට එන සුළු වූයේ වෙයි. එන්නේ ම වෙයි.
2. සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙක් අපේක්ෂා සහිත ව දන් නොදෙයි. විපාක ලබන අදහසින් යුතුව දන් නොදෙයි. සසරට රැස් කරනු පිණිස දන් නොදෙයි. මෙම දානයෙහි විපාකය පරලොව දී අනුභව කරන්නෙමි යි දන් නොදෙයි. එනමුත් දන් දීම නම් හොඳ දෙයක් නොවැයි කියා දන් දෙයි. ….(පෙ)….
3. හේ දන් දීම නම් හොඳ දෙයක් නොවැයි කියා දන් නොදෙයි. එනමුත් අපගේ මව්පියන් විසින් ද, මුතුන් මිත්තන් විසින් ද, පෙර දන් දෙන ලද්දේ ය. පෙර මේ සිරිත කරන ලද්දේ ය. ඒ පුරාණ කුලවංශයට අයත් චාරිත්‍ර ධර්මය පිරිහෙලන්නට සුදුසු නොවෙමි යි කියා දන් දෙයි. ….(පෙ)….
4. හේ අපගේ මව්පියන් විසින් ද, මුතුන් මිත්තන් විසින් ද, පෙර දන් දෙන ලද්දේ ය. පෙර මේ සිරිත කරන ලද්දේ ය. ඒ පුරාණ කුලවංශයට අයත් චාරිත්‍ර ධර්මය පිරිහෙලන්නට සුදුසු නොවෙමි යි කියා දන් නොදෙයි. එනමුත් ‘මම ආහාර පිසිමි. මොවුහු ආහාර නොපිසිති. ආහාර පිසින්නා ආහාර නොපිසින්නන් හට නොදීම නොගැලපෙන දෙයකි’ යි කියා දන් දෙයි. ….(පෙ)….
5. හේ ‘මම ආහාර පිසිමි. මොවුහු ආහාර නොපිසිති. ආහාර පිසින්නා ආහාර නොපිසින්නන් හට නොදීම නොගැලපෙන දෙයකි’ යි කියා දන් නොදෙයි. එනමුත් යම් පරිදි පූර්වයෙහි සිටි ඍෂිවරුන් වන අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන ඍෂිවරු මහා යාගයෝ කළාහු ද, මා විසින් දෙන මේ දානය එසේ සම බවට පත්වන්නේ යැයි දන් දෙයි. ….(පෙ)….
6. හේ යම් පරිදි පූර්වයෙහි සිටි ඍෂිවරුන් වන අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන ඍෂිවරු මහා යාගයෝ කළාහු ද, මා විසින් දෙන මේ දානය එසේ සම බවට පත්වන්නේ යැයි දන් නොදෙයි. එනමුත් මා විසින් මේ දානය දෙන කල්හී සිත පහදියි. සිත පැහැදීමෙන් සොම්නස උපදින්නේ ය කියා දන් දෙයි. ….(පෙ)….
7. හේ මා විසින් මේ දානය දෙන කල්හී සිත පහදියි. සිත පැහැදීමෙන් සොම්නස උපදින්නේ ය කියා දන් නොදෙයි. එනමුත් සමථ විදර්ශනා භාවනාවන්ට උපකාර වන චිත්තාලංකාරයකි. සිතේ දියුණුවට උපකාරයකි යි කියා දන් දෙයි. හේ ශ්රමණයෙකුට වේවා බ්රාහ්මණයෙකුට වේවා ආහාරපාන, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයනාසන, ආවාස, ප්‍රදීප උපකරණ ආදිය දන් දෙයි. සාරිපුත්තයෙනි, ඒ කිමෙකැයි හඟන්නෙහි ද? මෙහිලා ඇතැමෙක් මෙබඳු වූ දන් දෙන්නේ ද?”
“එසේ ය ස්වාමීනී.”
“සාරිපුත්තයෙනි, එහිලා ඇතැමෙක් අපේක්ෂා සහිත ව දන් නොදෙයි නම්, විපාක ලබන අදහසින් යුතුව දන් නොදෙයි නම්, සසරට රැස් කරනු පිණිස දන් නොදෙයි නම්, මෙම දානයෙහි විපාකය පරලොව දී අනුභව කරන්නෙමි යි දන් නොදෙයි නම්, – දන් දීම නම් හොඳ දෙයක් නොවැයි කියා දන් නොදෙයි නම්, – අපගේ මව්පියන් විසින් ද, මුතුන් මිත්තන් විසින් ද, පෙර දන් දෙන ලද්දේ ය. පෙර මේ සිරිත කරන ලද්දේ ය. ඒ පුරාණ කුලවංශයට අයත් චාරිත්‍ර ධර්මය පිරිහෙලන්නට සුදුසු නොවෙමි යි කියා දන් නොදෙයි නම්, – ‘මම ආහාර පිසිමි. මොවුහු ආහාර නොපිසිති. ආහාර පිසින්නා ආහාර නොපිසින්නන් හට නොදීම නොගැලපෙන දෙයකි’ යි කියා දන් නොදෙයි නම්, – යම් පරිදි පූර්වයෙහි සිටි ඍෂිවරුන් වන අට්ඨක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරද්වාජ, වාසෙට්ඨ, කස්සප, භගූ යන ඍෂිවරු මහා යාගයෝ කළාහු ද, මා විසින් දෙන මේ දානය එසේ සම බවට පත්වන්නේ යැයි දන් නොදෙයි නම්, – මා විසින් මේ දානය දෙන කල්හී සිත පහදියි. සිත පැහැදීමෙන් සොම්නස උපදින්නේ ය කියා දන් නොදෙයි නම්, – එනමුත් සමථ විදර්ශනා භාවනාවන්ට උපකාර වන චිත්තාලංකාරයකි. සිතේ දියුණුවට උපකාරයකි යි කියා දන් දෙයි නම්, හේ එසේ දන් දී කය බිඳී මරණින් මතු බ්‍රහ්මකායික දෙවියන්ගේ ලොවෙහි උපදියි. හේ ඒ කර්ම විපාකය ගෙවා දමා ඒ ඉර්ධිය, ඒ යසස, ඒ අධිපති බව ගෙවා දමා අනාගාමී වෙයි. යළි මිනිස් ලොවට නොඑන සුළු වූයේ වෙයි.
සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල නැත්තේ නම්, මහානිශංස නැත්තේ නම්, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි. සාරිපුත්තයෙනි, මෙහිලා ඇතැමෙකු විසින් දෙන ලද දානය මහත්ඵල ඇත්තේ නම්, මහානිශංස ඇත්තේ නම්, එයට හේතුව මෙය යි. එයට ප්‍රත්‍යය මෙය යි.”
සාදු! සාදු!! සාදු!!!
දාන මහප්ඵල සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M