මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ත්, ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ත් දක්ඛිණාගිරියෙහි මහත් භික්ෂු සංඝයා සමඟ චාරිකාවෙහි සැරිසරා වඩින්නාහ. එසමයෙහි වේළුකණ්ටකීයෙහි නන්දමාතා උපාසිකා තොමෝ රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදි ව පාරායන ධර්මය මිහිරි සරින් කියන්නී ය.
එවේලෙහි වෛශ්‍රවණ මහාරාජයා උතුරු දිශාවේ සිට දකුණු දිශාවට කිසියම් කරුණක් උදෙසා යන්නේ ය. වෛශ්‍රවණ මහාරාජයා නන්දමාතා උපාසිකාව පාරායන ධර්මය මිහිරි සරින් පවසනු ඇසුවේ ය. අසා ඒ ධර්ම කථාව අවසන් වන තෙක් බලමින් සිටියේ ය. එකල්හී නන්දමාතා උපාසිකා තොමෝ පාරායන ධර්මය මිහිරි සරින් පවසා නිශ්ශබ්ද වූවා ය. ඉක්බිති වෛශ්‍රවණ මහාරාජයා නන්දමාතා උපාසිකාවගේ ධර්ම කථාව අවසන් වූ බව දැන ‘සාධු ! සොයුරියෙනි, සාධු ! සොයුරියෙනි’ යි අනුමෝදන් වූයේ ය.
“සොඳුරු මුව ඇතියාණෙනි, ඔබ කවරෙක් ද?”
“සොයුරියෙනි, මම තොපගේ සොහොයුරු වෛශ්‍රවණ මහාරාජයා වෙමි.”
“සාධු ! සොඳුරු මුව ඇතියාණෙනි, එසේ වී නම් මා විසින් යම් මේ ධර්ම පරියායක් පවසන ලද්දේ ද, එයින් ලත් පින ඔබට ආගන්තුක් පඬුරක් වේවා!”
“සාධු ! සොයුරියෙනි, ඒ පින මට ආගන්තුක පඬුරක් ම වේවා. හෙට දිනයෙහි හීල් දානය නොවැළඳූ සාරිපුත්ත, මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා වේළුකණ්ටකයට වඩින්නාහ. ඒ භික්ෂු සංඝයාට ද දන් වළඳවා මා හට ඒ පින දෙන්නී නම්, මෙසේ ත් එය මට ආගන්තුක පඬුරක් වන්නේ ය.”
ඉක්බිති නන්දමාතා උපාසිකා තොමෝ ඒ රැය ඇවෑමෙන් සිය නිවසෙහි ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයන් පිළියෙල කරවූවා ය. එකල්හී හීල දානය නොවැළඳූ සාරිපුත්ත මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා වේළුකණ්ටක නගරයට වැඩියහ.
ඉක්බිති නන්දමාතා උපාසිකාවෝ එක්තරා පුරුෂයෙකු ඇමතුවා ය.
“එම්බා පුරුෂය, එව. ආරාමයට ගොස් භික්ෂු සංඝයා හට කල් දැනුම් දෙව. ‘ස්වාමීනී, ආර්යා වූ නන්දමාතාවගේ නිවසෙහි බත් පිළියෙල කරන ලද්දේ’ යි.”
“එසේ ය, ආර්යාවෙනි” යි ඒ පුරුෂයා නන්දමාතා උපාසිකාවට පිළිවදන් දී ආරාමයට ගොස් භික්ෂු සංඝයාට කල් දැනුම් දුන්නේ ය. “ස්වාමීනී, ආර්යා වූ නන්දමාතාවගේ නිවසෙහි බත් පිළියෙල කරන ලද්දේ ය” යි.
ඉක්බිති සාරිපුත්ත, මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත්‍රය හා සිවුරු ගෙන නන්දමාතා උපාසිකාවගේ නිවසට වැඩම කළහ. වැඩම කොට පණවන ලද අසුන්හි වැඩහුන්හ. එකල්හී නන්දමාතා උපාසිකා තොමෝ ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍යයෙන් සාරිපුත්ත, මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා සියතින් සැතැප්පුවා ය. පැවරුවා ය. මැනැවින් පිළිගැන්වූවා ය.
ඉක්බිති නන්දමාතා උපාසිකා තොමෝ දන් වළඳා පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වෙත පැමිණ එකත්පස් ව හිඳ ගත්තා ය. එකත්පස් ව හුන් නන්දමාතා උපාසිකාවට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය පැවසූහ.
“නන්දමාතාවෙනි, භික්ෂු සංඝයාගේ පැමිණීම ගැන ඔබට දැන්වූයේ කවරෙක් ද?”
“ස්වාමීනී, මෙහි මම රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි අවදි ව පාරායන ධර්මය මිහිරි සරින් කියා නිශ්ශබ්ද වූයෙමි. ස්වාමීනී, එවේලෙහි වෛශ්‍රවණ මහාරාජයා මාගේ ධර්ම කථාව අවසන් වූ බව දැන ‘සාධු ! සොයුරියෙනි, සාධු ! සොයුරියෙනි’ යි අනුමෝදන් වූයේ ය.
‘සොඳුරු මුව ඇතියාණෙනි, ඔබ කවරෙක් ද?’
‘සොයුරියෙනි, මම තොපගේ සොහොයුරු වෛශ්‍රවණ මහාරාජයා වෙමි.’
‘සාධු ! සොඳුරු මුව ඇතියාණෙනි, එසේ වී නම් මා විසින් යම් මේ ධර්ම පරියායක් පවසන ලද්දේ ද, එයින් ලත් පින ඔබට ආගන්තුක් පඬුරක් වේවා!’
‘සාධු ! සොයුරියෙනි, ඒ පින මට ආගන්තුක පඬුරක් ම වේවා. හෙට දිනයෙහි හීල් දානය නොවැළඳූ සාරිපුත්ත, මොග්ගල්ලානයන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා වේළුකණ්ටකයට වඩින්නාහ. ඒ භික්ෂු සංඝයාට ද දන් වළඳවා මා හට ඒ පින දෙන්නී නම් මෙසේ ත් එය මට ආගන්තුක පඬුරක් වන්නේ ය’ යැයි පැවසුවේ ය.
ස්වාමීනී, මේ දානයෙන් ලද යම් පිනක් ඇද්ද, එය වෛශ්‍රවණ මහාරාජයා හට සැපය පිණිස වේවා!”
1. “නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි. යම් හෙයින් මේ සා මහා ඉර්ධිමත් වූ, මේ සා මහේශාක්‍ය වූ දිව්‍ය පුත්‍රයෙකු වන වෛශ්‍රවණ මහාරාජයා සමඟ ත් මුණගැසී කතා සල්ලාප කරන්නී නොවැ.”
2. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, මෙහිලා නන්ද නමින් මා හට එක ම ප්‍රිය මනාප පුත්‍රයෙකු සිටියේ ය. කිසියම් කරුණක් අරභයා රජවරු ඔහු බලහත්කාරයෙන් ඇද මැඩ දිවි තොර කළාහු ය. ස්වාමීනී, ඒ දරුවා අල්ලා ගනු ලබන වේලාවෙහි හෝ අල්ලා ගත් වේලාවෙහි හෝ බඳිනු ලබන වේලෙහි හෝ වධ දෙන වේලෙහි හෝ නසන වේලෙහි හෝ නැසූ වේලෙහි හෝ මාගේ සිතෙහි කිසි වෙනසක් හටගත් බවක් මම නොදනිමි.”
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි. යම්හෙයකින් සිතක් ඉපදීම ත් පිරිසිදු කරන්නී ය.”
3. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, මෙහිලා මගේ සැමියා කළුරිය කළේ වෙයි. හේ එක්තරා යක්ෂ යෝනියක උපන්නේ වෙයි. හේ කලින් සිටි ස්වරූපයෙන් මා ඉදිරියෙහි පෙනී සිටියි. ස්වාමීනී, එය හේතුවෙන් මාගේ සිතෙහි කිසි වෙනසක් හටගත් බවක් මම නොදනිමි.”
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි. යම්හෙයකින් සිතක් ඉපදීම ත් පිරිසිදු කරන්නී ය.”
4. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, යම් කලක සැමියා විසින් ලදරු වයසේ සිටි මම ලදරු වූවා ම ආවාහ කොට ගෙන එන ලද්දීමි. සිතින් වත් සැමියා ඉක්ම වෙන කෙනෙකු පැතූ බවක් නොදනිමි. කයෙන් වරදක් කිරීම ගැන කවර කතා ද?”
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි. යම්හෙයකින් සිතක් ඉපදීම ත් පිරිසිදු කරන්නී ය.”
5. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, යම් කලක මම උපාසිකා බවට ප්‍රතිඥා කළෙම් ද, එදා සිට දැන දැන ශික්ෂා පදයක් කැඩූ බව නොදනිමි.”
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි.”
6. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, මෙහිලා මම යම්තාක් කැමති වෙම් ද, කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන ඒ තාක් වාසය කරමි. විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කැමති තාක් වාසය කරමි. ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසමි. කයෙන් සැපයක් ද විඳිමි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතු, සිහියෙන් යුතු සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන කැමති තාක් වාසය කරමි. සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන කැමති තාක් වාසය කරමි.
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි.”
7. “ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යය, අද්භූත ධර්මයක් නොවෙයි. මාගේ අන්‍ය වූ ආශ්චර්යය, අද්භූත ධර්මයකුත් ඇත්තේ ය.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද යම් මේ පංච ඕරම්භාගීය සංයෝජනයෝ වෙත් ද, ඒ කිසිවක් මා තුළ අප්‍රහීණ ව ඇති බවක් මම නොදකිමි.”
“නන්දමාතාවෙනි, ආශ්චර්යයකි. නන්දමාතාවෙනි, අද්භූතයෙකි.”
ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ නන්දමාතා උපාසිකාවට ධර්ම කථාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, උත්සාහවත් කරවා, සතුටු කරවා, හුනස්නෙන් නැගිට වැඩි සේක.
සාදු! සාදු!! සාදු!!!
නන්දමාතු සූත්‍රය නිමා විය.
පස්වෙනි මහා යඤ්ඤ වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
විඤ්ඤාණට්ඨිති සූත්‍රය, සමාධි පරික්ඛාර සූත්‍රය, අග්ගි සූත්‍රය, මහා යඤ්ඤ සූත්‍රය, සංඥා සූත්‍ර දෙක, මේථුන සූත්‍රය, සංයෝග සූත්‍රය, දාන මහප්ඵල සූත්‍රය සහ නන්දමාතු සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
පළමුවෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M