අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.5.8. සංයෝග විසංයෝග ධම්මපරියාය සුත්තං

7.1.5.8. එක්වීම – වෙන්වීම නම් ධර්ම පරියාය ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, ඔබට එක්වීම වෙන්වීම නම් ධර්ම පරියාය දේශනා කරන්නෙමි. එය අසව්. ….(පෙ)….

මහණෙනි, ඒ එක්වීම වෙන්වීම නම් ධර්ම පරියාය කුමක් ද?

මහණෙනි, ස්ත්‍රියක් තමා තුළ ඇති ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි කරයි. ස්ත්‍රී ක්‍රියාව, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රිය කැමති දේ කැමති බව, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය මෙනෙහි කරයි. ඇය එයට ආශා කරයි. එය අභිරමණය කරයි. ඇය එහි ඇලී වසන්නී, එහි අභිරමණය කරන්නී, බාහිර පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි කරයි. පුරුෂ ක්‍රියා, පුරුෂ ආකල්ප, පුරුෂ මාන්නය, පුරුෂයෙකු කැමති දේ, පුරුෂ ස්වරය, පුරුෂ අලංකාර මෙනෙහි කරයි. ඇය එයට ආශා කරයි. එය අභිරමණය කරයි. ඇය එහි ඇලී වසන්නී, එහි අභිරමණය කරන්නී, බාහිර පුරුෂයෙකු සමඟ එක්වන්නට කැමති වෙයි. යම් හෙයකින් ඇයට එසේ එක්වීමෙන් සැපයක් සොම්නසක් උපදියි නම්, එයට ද කැමති වෙයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි ඇලී ගිය සත්වයෝ පුරුෂයන් කෙරෙහි එක්වීමට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ස්ත්‍රියක් ස්ත්‍රීභාවය ඉක්මවා නොයයි.

මහණෙනි, පුරුෂයෙක් තමා තුළ ඇති පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි කරයි. පුරුෂ ක්‍රියාව, පුරුෂ ආකල්ප, පුරුෂ මාන්නය, පුරුෂයා කැමති දේ කැමති බව, පුරුෂ ස්වරය, පුරුෂ අලංකාරය මෙනෙහි කරයි. ඔහු එයට ආශා කරයි. එය අභිරමණය කරයි. පුරුෂ එහි ඇලී වසන්නේ, එහි අභිරමණය කරන්නේ, බාහිර ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි කරයි. ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රීයක කැමති දේ, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාර මෙනෙහි කරයි. ඔහු එයට ආශා කරයි. එය අභිරමණය කරයි. ඔහු එහි ඇලී වසන්නේ, එහි අභිරමණය කරන්නේ, බාහිර ස්ත්‍රීයක සමඟ එක්වන්නට කැමති වෙයි. යම් හෙයකින් ඔහුට එසේ එක්වීමෙන් සැපයක් සොම්නසක් උපදියි නම්, එයට ද කැමති වෙයි. මහණෙනි, පුරුෂ භාවයෙහි ඇලී ගිය සත්වයෝ ස්ත්‍රීන් කෙරෙහි එක්වීමට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ පුරුෂයෙක් පුරුෂභාවය ඉක්මවා නොයයි.

මහණෙනි, මෙසේ එක්වීම වෙයි.

මහණෙනි, වෙන් වන්නේ කෙසේ ද?

මහණෙනි, ස්ත්‍රියක් තමා තුළ ඇති ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. ස්ත්‍රී ක්‍රියාව, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රිය කැමති දේ කැමති බව, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාරය මෙනෙහි නොකරයි. ඇය එයට ආශා නොකරයි. එය අභිරමණය නොකරයි. ඇය එහි ඇලී නොවසන්නී, එහි අභිරමණය නොකරන්නී, බාහිර පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. පුරුෂ ක්‍රියා, පුරුෂ ආකල්ප, පුරුෂ මාන්නය, පුරුෂයෙකු කැමති දේ, පුරුෂ ස්වරය, පුරුෂ අලංකාර මෙනෙහි නොකරයි. ඇය එයට ආශා නොකරයි. එය අභිරමණය නොකරයි. ඇය එහි ඇලී නොවසන්නී, එහි අභිරමණය නොකරන්නී, බාහිර පුරුෂයෙකු සමඟ එක්වන්නට කැමති නොවෙයි. යම් හෙයකින් ඇයට එසේ එක්වීමෙන් සැපයක් සොම්නසක් උපදියි නම්, එය නොපතයි. මහණෙනි, ස්ත්‍රී භාවයෙහි නොඇලී ගිය සත්වයෝ පුරුෂයන් කෙරෙන් වෙන් වීමට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ ස්ත්‍රියක් ස්ත්‍රීභාවය ඉක්මවා යයි.

මහණෙනි, පුරුෂයෙක් තමා තුළ ඇති පුරුෂ ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. පුරුෂ ක්‍රියාව, පුරුෂ ආකල්ප, පුරුෂ මාන්නය, පුරුෂයා කැමති දේ කැමති බව, පුරුෂ ස්වරය, පුරුෂ අලංකාරය මෙනෙහි නොකරයි. ඔහු එයට ආශා නොකරයි. එය අභිරමණය නොකරයි. පුරුෂ එහි ඇලී නොවසන්නේ, එහි අභිරමණය නොකරන්නේ, බාහිර ස්ත්‍රී ඉන්ද්‍රිය මෙනෙහි නොකරයි. ස්ත්‍රී ක්‍රියා, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී මාන්නය, ස්ත්‍රීයක කැමති දේ, ස්ත්‍රී ස්වරය, ස්ත්‍රී අලංකාර මෙනෙහි නොකරයි. ඔහු එයට ආශා නොකරයි. එය අභිරමණය නොකරයි. ඔහු එහි ඇලී නොවසන්නේ, එහි අභිරමණය නොකරන්නේ, බාහිර ස්ත්‍රීයක සමඟ එක්වන්නට අකැමති වෙයි. යම් හෙයකින් ඔහුට එසේ එක්වීමෙන් සැපයක් සොම්නසක් උපදියි නම්, එය නොපතයි. මහණෙනි, පුරුෂ භාවයෙහි නොඇලී ගිය සත්වයෝ ස්ත්‍රීන් කෙරෙන් වෙන්වීමට පැමිණියාහු ය. මහණෙනි, මෙසේ පුරුෂයෙක් පුරුෂභාවය ඉක්මවා යයි.

මහණෙනි, මෙසේ වෙන්වීම වෙයි.

මහණෙනි, මේ වනාහී එක්වීම වෙන්වීම නම් වූ ධර්ම පර්යාය යි.

සාදු! සාදු!! සාදු!!!

සංයෝග විසංයෝග ධම්මපරියාය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-5-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M