අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.4.11. පඨම නිද්දසවත්ථු සුත්තං

7.1.4.11. ගරුසරු බවට කරුණු ගැන වදාළ පළමු දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියහ.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘සැවැතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම බොහෝ අළුයම වෙයි. එහෙයින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා වැඩියහ. වැඩම කොට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ.

එසමයෙහි එහි රැස් ව හුන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කථාව හටගත්තේ ය.

“ආයුෂ්මත්නි, යම්කිසිවෙක් දොළොස් අවුරුද්දක් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස, බඹසර හැසිරෙයි නම්, ඔහු දස වස් ඉක්ම වූ ගරුසරු බවට කරුණු ඇති භික්ෂුවක් යැයි කීමට සුදුසු වෙයි.”

එකල්හී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. ප්‍රතික්ෂේප නොකළහ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි හුනස්නෙන් නැගිට වැඩියහ.

ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ භාග්‍යවතුන් වහන්සේ කරා වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ස්වාමීනී, මෙහිලා මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි.

එකල්හී ස්වාමීනී, මට මේ අදහස ඇතිවිය. ‘සැවැතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම බොහෝ අළුයම වෙයි. එහෙයින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ස්වාමීනී, මම අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා ගියෙමි. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වුණෙමි. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තෙමි.

ස්වාමීනී, එසමයෙහි එහි රැස් ව හුන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කථාව හටගත්තේ ය.

‘ආයුෂ්මත්නි, යම්කිසිවෙක් දොළොස් අවුරුද්දක් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස, බඹසර හැසිරෙයි නම්, ඔහු දස වස් ඉක්ම වූ ගරුසරු බවට කරුණු ඇති භික්ෂුවක් යැයි කීමට සුදුසු වෙයි.’

එකල්හී ස්වාමීනී, මම ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්තෙමි. ප්‍රතික්ෂේප නොකළෙමි. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි හුනස්නෙන් නැගිට නික්ම ගියෙමි.

ස්වාමීනී, මේ ධර්ම විනයෙහි හුදෙක් වස් ගණනක් ගෙවූ පමණින් දස වස් ඉක්ම ගිය හෙයින් ගරු කටයුතු කරුණු ඇති භික්ෂුවක් ය කියා, නිද්දස භික්ෂුව කියා පැණවිය හැක්කේ ද?”

“සාරිපුත්තයෙනි, මේ ධර්ම විනයෙහි හුදෙක් වස් ගණනක් ගෙවූ පමණින් දස වස් ඉක්ම ගිය හෙයින් ගරු කටයුතු කරුණු ඇති භික්ෂුවක් ය කියා, නිද්දස භික්ෂුව කියා පණවන්නට නොහැකි ය.

සාරිපුත්තයෙනි, මා විසින් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පවසන ලද ගරු කටයුතු බවට කරුණු හෙවත් නිද්දස වත්ථු සතක් ඇත්තේ ය. ඒ කවර සතක් ද යත්;

සාරිපුත්තයෙනි, මෙහිලා භික්ෂුව ශික්ෂා සමාදන් වීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ශික්ෂා සමාදන් වීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

ධර්මාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ධර්මාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

තෘෂ්ණාව දුරු කිරීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද තෘෂ්ණාව දුරු කිරීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

භාවනාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද භාවනාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

අරඹන ලද වීරියෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද අරඹන ලද වීරියෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

මාර්ගඵලාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද මාර්ගඵලාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.

සාරිපුත්තයෙනි, මේ වනාහී මා විසින් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පවසන ලද ගරු කටයුතු බවට කරුණු හෙවත් නිද්දස වත්ථු සත යි.

සාරිපුත්තයෙනි, මේ නිද්දසවත්ථු සතින් සමන්විත වූ භික්ෂුව දොළොස් වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. විසි හතර වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. තිස් හය වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. හතළිස් අට වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි.

සාදු! සාදු!! සාදු!!!

පඨම නිද්දසවත්ථු සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M