අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.4.12. දුතිය නිද්දසවත්ථු සුත්තං

7.1.4.12. ගරුසරු බවට කරුණු ගැන වදාළ දෙවෙනි දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස පිවිසියහ.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවිය. ‘කොසඹෑ නුවර පිඬු පිණිස හැසිරෙන්නට තව ම බොහෝ අළුයම වෙයි. එහෙයින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා වැඩියහ. වැඩම කොට ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වූහ. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්හ.

එසමයෙහි එහි රැස් ව හුන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කථාව හටගත්තේ ය.

“ආයුෂ්මත්නි, යම්කිසිවෙක් දොළොස් අවුරුද්දක් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස, බඹසර හැසිරෙයි නම්, ඔහු දස වස් ඉක්ම වූ ගරුසරු බවට කරුණු ඇති භික්ෂුවක් යැයි කීමට සුදුසු වෙයි.”

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්හ. ප්‍රතික්ෂේප නොකළහ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි හුනස්නෙන් නැගිට වැඩියහ.

ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑයෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා පැමිණ භාග්‍යවතුන් වහන්සේ කරා වැඩියහ. වැඩම කොට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කළහ.

“ස්වාමීනී, මෙහිලා මම පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සැවැත් නුවරට පිඬු පිණිස පිවිසියෙමි.

එකල්හී ස්වාමීනී, මට මේ අදහස ඇතිවිය. ‘කොසඹෑයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම බොහෝ අළුයම වෙයි. එහෙයින් මම අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා යන්නෙම් නම් මැනැවි’ යි.

ඉක්බිති ස්වාමීනී, මම අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ ආරාමය කරා ගියෙමි. ගොස් ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් හා සතුටු වුණෙමි. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව හිඳගත්තෙමි.

ස්වාමීනී, එසමයෙහි එහි රැස් ව හුන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් අතර මේ කථාව හටගත්තේ ය.

‘ආයුෂ්මත්නි, යම්කිසිවෙක් දොළොස් අවුරුද්දක් පරිපූර්ණ ලෙස, පිරිසිදු ලෙස, බඹසර හැසිරෙයි නම්, ඔහු දස වස් ඉක්ම වූ ගරුසරු බවට කරුණු ඇති භික්ෂුවක් යැයි කීමට සුදුසු වෙයි.’

එකල්හී ස්වාමීනී, මම ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ගේ වචනය නොපිළිගත්තෙමි. ප්‍රතික්ෂේප නොකළෙමි. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට ‘භාග්‍යවතුන් වහන්සේ වෙතින් මෙකරුණෙහි අර්ථය දැනගන්නෙමි’ යි හුනස්නෙන් නැගිට නික්ම ගියෙමි.

ස්වාමීනී, මේ ධර්ම විනයෙහි හුදෙක් වස් ගණනක් ගෙවූ පමණින් දස වස් ඉක්ම ගිය හෙයින් ගරු කටයුතු කරුණු ඇති භික්ෂුවක් ය කියා, නිද්දස භික්ෂුව කියා පැණවිය හැක්කේ ද?”

“ආනන්දයෙනි, මේ ධර්ම විනයෙහි හුදෙක් වස් ගණනක් ගෙවූ පමණින් දස වස් ඉක්ම ගිය හෙයින් ගරු කටයුතු කරුණු ඇති භික්ෂුවක් ය කියා, නිද්දස භික්ෂුව කියා පණවන්නට නොහැකි ය.

ආනන්දයෙනි, මා විසින් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පවසන ලද ගරු කටයුතු බවට කරුණු හෙවත් නිද්දස වත්ථු සතක් ඇත්තේ ය. ඒ කවර සතක් ද යත්;

ආනන්දයෙනි, මෙහිලා භික්ෂුව සැදැහැ ඇත්තේ වෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. බහුශ්‍රැත වූයේ වෙයි. අරඹන ලද වීරිය ඇත්තේ වෙයි. සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි.

ආනන්දයෙනි, මේ වනාහී මා විසින් සිය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පවසන ලද ගරු කටයුතු බවට කරුණු හෙවත් නිද්දස වත්ථු සත යි.

ආනන්දයෙනි, මේ නිද්දසවත්ථු සතින් සමන්විත වූ භික්ෂුව දොළොස් වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. විසි හතර වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. තිස් හය වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි. හතළිස් අට වසකුත් පිරිපුන් ලෙස පිරිසිදු ලෙස බඹසර හැසිරෙයි නම් හේ නිද්දස භික්ෂුව යැයි කියන්නට නිසි වෙයි.

සාදු! සාදු!! සාදු!!!

දුතිය නිද්දසවත්ථු සූත්‍රය නිමා විය.

සිව්වෙනි දේවතා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අප්පමාද සූත්‍රය, හිරි සූත්‍රය, සෝවචස්සතා සූත්‍ර දෙක, මිත්‍ර සූත්‍ර දෙක, පටිසම්භිදා සූත්‍ර දෙක, චිත්තවස සූත්‍ර දෙක, නිද්දස සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දොළොසකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-4-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M