සැවැත් නුවර දී ය …..
මහණෙනි, ඔබට සප්ත අපරිහානීය ධර්මයන් දෙසන්නෙමි. එය අසව්. ….(පෙ)…. මහණෙනි, ඒ සප්ත අපරිහානීය ධර්මයෝ මොනවා ද?
මහණෙනි, යම්තාක් භික්ෂූහු බාහිර වැඩකටයුතුවලට ඇලී නොවසත් ද, බාහිර වැඩකටයුතුවල නැවත නැවත නොයෙදී සිටිත් ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ. මහණෙනි, යම්තාක් භික්ෂූහු කතාවෙහි නොඇලී වසන්නාහු ද, ….(පෙ)…. නින්දෙහි නොඇලී වසන්නාහු ද, ….(පෙ)…. පිරිස් සමඟ නොඇලී වසන්නාහු ද, ….(පෙ)…. පවිටු ආශා නැති ව සිටින්නාහු ද, පවිටු ආශාවන්ගේ වසඟයට නොගියාහු ද, ….(පෙ)…. පාප මිත්‍රයන් නැති ව සිටින්නාහු ද, පාපී යහළුවන් නැත්තාහු ද, පාපී යහළුවන්ගේ ඇසුරට නැඹුරු නොවන්නාහු ද, ….(පෙ)…. ස්වල්ප වූ විශේෂ අධිගමයක් හේතුවෙන් ඉදිරි දියුණුව නැති නොකර ගන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවේ.
මහණෙනි, යම්තාක් කල් භික්ෂූන් තුළ මේ සප්ත අපරිහානීය ධර්මයෝ පවතිත් ද, මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ ත්, භික්ෂූහු දකින්නට ලැබෙත් ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවෙයි.
සාදු! සාදු!! සාදු!!!
දුතිය භික්ඛු අපරිහානීය සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M