අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.3.3. භික්ඛු අපරිහානීය සුත්තං

7.1.3.3. භික්ෂුව නොපිරිහෙන කරුණු ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඔබට සප්ත අපරිහානීය ධර්මයන් දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි. ‘එසේ ය, ස්වාමීනී’ යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

මහණෙනි, ඒ සප්ත අපරිහානීය ධර්මයෝ මොනවා ද?

1. මහණෙනි, යම්තාක් භික්ෂූහු නිතර නිතර රැස්වන්නාහු වෙත් ද, රැස්වීම් බහුල කොට ඇද්ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

2. මහණෙනි, යම්තාක් භික්ෂූහු සමගි ව රැස්වන්නාහු වෙත් ද, සමගි ව විසිර යන්නාහු ද, සමගි ව සංඝයාගේ කටයුතු කරන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

3. මහණෙනි, යම්තාක් භික්ෂූහු නොපණවන ලද දෙය නොපණවන්නාහු ද, පණවන ලද දෙය කඩනොකරන්නාහු ද, යම් අයුරකින් පණවන ලද ශික්ෂා පදයන්හි සමාදන් ව සිටින්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

4. මහණෙනි, යම්තාක් භික්ෂූහු යම් ඒ ස්ථවිර භික්ෂුහු සිටිත් ද, පැවිදි ව බොහෝ රාත්‍රී ගෙවන ලද, පැවිදි ව බොහෝ කල් ගත වූ, සංඝ පීතෘ වූ, සංඝ පරිනායක වූ භික්ෂූහු සිටිත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, පුදන්නාහු ද, ඔවුන්ගේ වචනය ඇසිය යුතු යැයි හඟින්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

5. මහණෙනි, යම්තාක් භික්ෂූහු උපන්නා වූ, පුනර්භවය ඇති කරවන තෘෂ්ණාවේ වසඟයට නොයන්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

6. මහණෙනි, යම්තාක් භික්ෂූහු යම් ඒ ආරණ්‍යයෙහි, වන සෙනසුන්හි වාසය පිණිස අපේක්ෂාවෙන් සිටින්නාහු ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

7.මහණෙනි, යම්තාක් භික්ෂූහු තමා තුළ ම සිහිය පිහිටුවා ගන්නාහු ද, ‘කිම? නොවැඩි සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා වඩින්නාහු ද, වැඩම කළ සුපේශල සබ්‍රහ්මචාරීන් වහන්සේලා පහසුවෙන් වාසය කරන්නාහු දැ’යි මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.

මහණෙනි, යම්තාක් කල් භික්ෂූන් තුළ මේ සප්ත අපරිහානීය ධර්මයෝ පවතිත් ද, මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ ත්, භික්ෂූහු දකින්නට ලැබෙත් ද, මහණෙනි, එසේ ඇති කල්හී භික්ෂූන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවෙයි.

සාදු! සාදු!! සාදු!!!

භික්ඛු අපරිහානීය සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M