මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එසමයෙහි මගධරාජ වූ වේදේහිපුත්‍ර අජාසත් තෙමේ වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. හේ මෙසේ කියයි.
“මම මේ සා මහා ඉර්ධිමත් මේ සා මහානුභාව ඇති මේ වජ්ජීන් සිඳලන්නෙමි. වජ්ජීන් වනසන්නෙමි. වජ්ජීන් අන්‍ය වූ විපත්තියකට පමුණුවන්නෙමි.”
ඉක්බිති මගධරාජ වූ වේදේහිපුත්‍ර අජාසත් තෙමේ මගධමහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේ ය.
“එව. බ්‍රාහ්මණය. ඔබ භාග්‍යවතුන් වහන්සේ කරා යව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් සිරසින් වඳිනු. අල්පාබාධ බව, අල්පදුක් ඇති බව, සැහැල්ලු බව, සිරුරු බල, පහසු විහරණය විමසනු. ‘ස්වාමීනී, වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේගේ පා කමල් සිරසින් වඳියි. අල්පාබාධ බව, අල්පදුක් ඇති බව, සැහැල්ලු බව, සිරුරු බල, පහසු විහරණය විමසයි. මෙසේ ත් කියයි. ස්වාමීනී, වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. හේ මෙසේ ත් කියයි. මම මේ සා මහා ඉර්ධිමත් මේ සා මහානුභාව ඇති මේ වජ්ජීන් සිඳලන්නෙමි. වජ්ජීන් වනසන්නෙමි. වජ්ජීන් අන්‍ය වූ විපත්තියකට පමුණුවන්නෙමි’ යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ යම් අයුරින් පිළිතුරු දෙයි නම් එය මනාකොට උගෙන මට දැනුම් දෙනු. තථාගතයෝ අසත්‍යයක් නොවදාරති.”
“එසේ ය, භවත” යි මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ වේදේහිපුත්‍ර අජාසත් මගධ රජුට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කතා බහ නිමවා එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව හුන් මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු භවත් ගෞතමයන් වහන්සේගේ පා කමල් සිරසින් වඳියි. අල්පාබාධ, අල්ප පීඩා, සැහැල්ලු පැවතුම්, බලය සහ පහසු විහරණය පිළිබඳ ව ද අසයි. භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු වජ්ජීන් යටත් කරනු කැමති වෙයි. හේ මෙසේ ත් කියයි. ‘මම මේ සා මහා ඉර්ධිමත් මේ සා මහානුභාව ඇති මේ වජ්ජීන් සිඳලන්නෙමි. වජ්ජීන් වනසන්නෙමි. වජ්ජීන් අන්‍ය වූ විපත්තියකට පමුණුවන්නෙමි’ යි.”
එසමයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් භාග්‍යවතුන් වහන්සේට පවන් සළමින් සිටියහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.
1. කිම, ආනන්දයෙනි, වජ්ජීහු නිතර නිතර රැස්වෙති. රැස්වීම් බහුල කොට ඇත්තාහු වෙති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු නිතර නිතර රැස්වෙති. රැස්වීම් බහුල කොට ඇත්තාහු වෙති. යන කරුණ මවිසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු නිතර නිතර රැස්වන්නාහු වෙත් ද, රැස්වීම් බහුල කොට ඇද්ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
2. කිම, ආනන්දයෙනි, වජ්ජීහු සමගි ව රැස් වෙති. සමගි ව විසිර යති. සමගි ව වජ්ජීන්ගේ කටයුතු කරති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු සමගි ව රැස් වෙති. සමගි ව විසිර යති. සමගි ව වජ්ජීන්ගේ කටයුතු කරති යන කරුණ මවිසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු සමගි ව රැස්වන්නාහු වෙත් ද, සමගි ව විසිර යන්නාහු ද, සමගි ව වජ්ජීන්ගේ කටයුතු කරන්නාහු ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
3. කිම, ආනන්දයෙනි, වජ්ජීහු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය කඩනොකරති. යම් අයුරකින් පැරැන්නන්ගේ පණවන ලද වජ්ජී ධර්මයෙහි සමාදන් ව සිටිති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු නොපණවන ලද දෙය නොපණවති. පණවන ලද දෙය කඩනොකරති. යම් අයුරකින් පැරැන්නන්ගේ පණවන ලද වජ්ජී ධර්මයෙහි සමාදන් ව සිටිති යන කරුණ මවිසින් අසන ලද්දේ ය”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු නොපණවන ලද දෙය පණවන්නාහු ද, පණවන ලද දෙය කඩනොකරන්නාහු ද, යම් අයුරකින් පැරැන්නන්ගේ පණවන ලද වජ්ජී ධර්මයෙහි සමාදන් ව සිටින්නාහු ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
4. කිම, ආනන්දයෙනි, වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ වැඩිමහළු වජ්ජීහු සිටිත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු වෙති. ගරුකාර කරන්නාහු වෙති. බුහුමන් කරන්නාහු වෙති. පුදන්නාහු වෙති. ඔවුන්ගේ වචනය ඇසිය යුතු යැයි හඟින්නාහු වෙති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ වැඩිමහළු වජ්ජීහු සිටිත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු වෙති. ගරුකාර කරන්නාහු වෙති. බුහුමන් කරන්නාහු වෙති. පුදන්නාහු වෙති. ඔවුන්ගේ වචනය ඇසිය යුතු යැයි හඟින්නාහු වෙති යන කරුණ මවිසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ වැඩිමහළු වජ්ජීහු සිටිත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, පුදන්නාහු ද, ඔවුන්ගේ වචනය ඇසිය යුතු යැයි හඟින්නාහු ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
5. කිම, ආනන්දයෙනි, වජ්ජීහු යම් ඒ කුලකාන්තාවෝ, කුලකුමාරීහු සිටිත් ද, ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන, මැඩගෙන තමා සමීපයෙහි නොරඳවා ගනිති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු යම් ඒ කුලකාන්තාවෝ, කුලකුමාරීහු සිටිත් ද, ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන, මැඩගෙන තමා සමීපයෙහි නොරඳවා ගනිති යන කරුණ මවිසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු යම් ඒ කුලකාන්තාවෝ, කුලකුමාරීහු සිටිත් ද, ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන, මැඩගෙන තමා සමීපයෙහි නොරඳවාගන්නාහු ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
6. කිම, ආනන්දයෙනි, වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ ඇතුළු නුවර ත්, පිටිනුවර ත් තිබෙන්නා වූ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, ඒවාට සත්කාර කරති. ගරුකාර කරති. බුහුමන් කරති. පුදති. ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහෙලා කරති යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ ඇතුළු නුවර ත්, පිටිනුවර ත් තිබෙන්නා වූ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, ඒවාට සත්කාර කරති. ගරුකාර කරති. බුහුමන් කරති. පුදති. ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහෙලා කරති යන කරුණ ම විසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ ඇතුළු නුවර ත්, පිටිනුවර ත් තිබෙන්නා වූ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, ඒවාට සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, පුදන්නාහු ද, ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහෙලා කරන්නාහු ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
7. කිම, ආනන්දයෙනි, වජ්ජීන් විසින් ‘කිම? නොවැඩි රහතන් වහන්සේලා වජ්ජි දේශයට වඩින්නාහු ද, වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයෙහි පහසුවෙන් වාසය කරන්නාහු දැ’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ සහ පහසුකම් මැනැවින් සළසන ලද්දේ ය යන කරුණ ඔබ විසින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, වජ්ජීන් විසින් ‘කිම? නොවැඩි රහතන් වහන්සේලා වජ්ජි දේශයට වඩින්නාහු ද, වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයෙහි පහසුවෙන් වාසය කරන්නාහු දැ’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ සහ පහසුකම් මැනැවින් සළසන ලද්දේ ය යන කරුණ මවිසින් අසන ලද්දේ ය.”
“ආනන්දයෙනි, යම්තාක් වජ්ජීන් විසින් ‘කිම? නොවැඩි රහතන් වහන්සේලා වජ්ජි දේශයට වඩින්නාහු ද, වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයෙහි පහසුවෙන් වාසය කරන්නාහු දැ’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ සහ පහසුකම් මැනැවින් සළසන ලද්දේ වෙයි ද, ආනන්දයෙනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක.
“බ්‍රාහ්මණය, එක් සමයක මම විශාලා මහනුවර සාරන්දද චෛත්‍ය ස්ථානයෙහි වාසය කළෙමි. එහිදී බ්‍රාහ්මණය, මම වජ්ජීන් හට මෙම සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය, යම්තාක් වජ්ජීන් තුළ මේ සප්ත අපරිහානීය ධර්මයෝ පවතිත් ද, මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ ත්, වජ්ජීහු දකින්නට ලැබෙත් ද, බ්‍රාහ්මණය, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේ ය. පරිහානියක් නොවෙයි.”
මෙසේ වදාළ කල්හී මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“භවත් ගෞතමයන් වහන්ස, මේ එක් එක් අපරිහානීය ධර්මයෙන් සමන්විත වූ වජ්ජීන්ගේ දියුණුව ම කැමති විය යුත්තේ ය. පිරිහීම නොවෙයි. එසේ ඇති කල්හී අපරිහානීය ධර්මයන් සතකින් සමන්විත වූයේ නම් දියුණුව ගැන කවර කථා ද? භවත් ගෞතමයන් වහන්ස, වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු විසින් චාටුබස් කීමෙන් තොර ව, මිත්‍ර භේදයෙන් තොර ව යුද්ධයෙන් නම් වජ්ජීන් ව දිනාගත නොහැක්කේ ය.
භවත් ගෞතමයන් වහන්ස, දැන් වනාහී අපි යම්හ. අපි බොහෝ කටයුතු ඇති, කළ යුතු බොහෝ දෑ ඇති උදවිය වෙමු.”
“බ්‍රාහ්මණය, දැන් යමකට කාලය නම් එය දනුව.”
ඉක්බිති මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට ගියේ ය.
සාදු! සාදු!! සාදු!!!
වස්සකාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M