මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර සාරන්දද සෑයෙහි වැඩවසන සේක. එකල්හී බොහෝ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහු ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටියාහු ය. එකත්පස් ව හුන් ඒ ලිච්ඡවීන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ලිච්ඡවීවරුනි, ඔබට නොපිරිහෙන ධර්මයන් සතක් දෙසන්නෙමි. එය අසව්. මැනැවින් මෙනෙහි කරව්. පවසන්නෙමි.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ ලිච්ඡවීහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“ලිච්ඡවීවරුනි, ඒ නොපිරිහෙන සප්ත ධර්මයෝ මොනවා ද?
1. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු නිතර නිතර රැස්වන්නාහු වෙත් ද, රැස්වීම් බහුල කොට ඇද්ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
2. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු සමගි ව රැස්වන්නාහු වෙත් ද, සමගි ව විසිර යන්නාහු ද, සමගි ව වජ්ජීන්ගේ කටයුතු කරන්නාහු ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
3. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු නොපණවන ලද දෙය නොපණවන්නාහු ද, පණවන ලද දෙය කඩනොකරන්නාහු ද, යම් අයුරකින් පැරැන්නන්ගේ පණවන ලද වජ්ජී ධර්මයෙහි සමාදන් ව සිටින්නාහු ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
4. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ වැඩිමහළු වජ්ජීහු සිටිත් ද, ඔවුන්ට සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, පුදන්නාහු ද, ඔවුන්ගේ වචනය ඇසිය යුතු යැයි හඟින්නාහු ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
5. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු යම් ඒ කුලකාන්තාවෝ, කුලකුමාරීහු සිටිත් ද, ඔවුන් බලහත්කාරයෙන් ඇදගෙන, මැඩගෙන තමා සමීපයෙහි නොරඳවාගන්නාහු ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
6. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීහු යම් ඒ වජ්ජීන්ගේ ඇතුළු නුවර ත්, පිටිනුවර ත් තිබෙන්නා වූ වජ්ජී චෛත්‍යයෝ වෙත් ද, ඒවාට සත්කාර කරන්නාහු ද, ගරුකාර කරන්නාහු ද, බුහුමන් කරන්නාහු ද, පුදන්නාහු ද, ඒවාට කලින් දෙන ලද, කලින් කරන ලද ධාර්මික පුද පූජා නොපිරිහෙලා කරන්නාහු ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
7. ලිච්ඡවීවරුනි, යම්තාක් වජ්ජීන් විසින් ‘කිම? නොවැඩි රහතන් වහන්සේලා වජ්ජි දේශයට වඩින්නාහු ද, වැඩම කළ රහතන් වහන්සේලා වජ්ජි දේශයෙහි පහසුවෙන් වාසය කරන්නාහු දැ’යි රහතුන් කෙරෙහි ධාර්මික රක්ෂාවරණ සහ පහසුකම් මැනැවින් සළසන ලද්දේ වෙයි ද, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
ලිච්ඡවීවරුනි, මේ සප්ත අපරිහානීය ධර්මයන් යම්තාක් කල් වජ්ජීන් තුළ දකින්නට ලැබෙයි නම් මේ සප්ත අපරිහානීය ධර්මයන් තුළ වජ්ජීහු ත් පෙනෙත් නම්, ලිච්ඡවීවරුනි, එසේ ඇති කල්හී වජ්ජීන්ගේ දියුණුවක් ම කැමති විය යුත්තේය. පිරිහීමක් නම් නොවේ.
සාදු! සාදු!! සාදු!!!
සාරන්දද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M