අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.6. අනිච්චානුපස්සී සුත්තං

7.1.2.6. අනිත්‍ය අනුව බැලීම ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. පාහුනෙය්‍ය වෙති. දක්ඛිණෙය්‍ය වෙති. අංජලිකරණීය වෙති. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

1. මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් පිළිබඳ ව අනිත්‍ය අනුව බලමින්, අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැම කල්හි නිරතුරුව, වෙනත් සිතක් හා මුසු නොවී, විදර්ශනාවට බැස ගනිමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වාසය කරයි. හේ ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම සිය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි.

මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, පාහුනෙය්‍ය වූ, දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය වූ, ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ පළමු වෙනි පුද්ගලයා ය.

2. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් පිළිබඳ ව අනිත්‍ය අනුව බලමින්, අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැම කල්හි නිරතුරුව, වෙනත් සිතක් හා මුසු නොවී, විදර්ශනාවට බැස ගනිමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වාසය කරයි. පෙර පසු නොවී ඔහුගේ ආශ්‍රවයන් නැති වීම ත්, ජීවිතය නැති වීම ත් එකවර සිදුවෙයි.

මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, පාහුනෙය්‍ය වූ, දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය වූ, ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ දෙවෙනි පුද්ගලයා ය.

3. තව ද මහණෙනි, ඇතැම් පුද්ගලයෙක් සියලු සංස්කාරයන් පිළිබඳ ව අනිත්‍ය අනුව බලමින්, අනිත්‍ය සංඥාවෙන් යුතුව, අනිත්‍යයට සංවේදී වෙමින්, හැම කල්හි නිරතුරුව, වෙනත් සිතක් හා මුසු නොවී, විදර්ශනාවට බැස ගනිමින්, ප්‍රඥාවෙන් අවබෝධ කරමින් වාසය කරයි. හේ ඕරම්භාගීය සංයෝජනයන් ප්‍රහාණය කොට සුද්ධාවාස බඹලොව ඉපදී අනතුරු ව ම පිරිනිවන් පාන්නේ වෙයි.

මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, පාහුනෙය්‍ය වූ, දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය වූ, ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ තෙවෙනි පුද්ගලයා ය.

4. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද අඩක් ආයු ගෙවා පිරිනිවන් පාන්නේ වෙයි. 5. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද උත්සාහ රහිත ව පිරිනිවන් පාන්නේ වෙයි. 6. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද උත්සාහ සහිත ව පිරිනිවන් පාන්නේ වෙයි. 7. ….(පෙ)…. සුද්ධාවාස බඹලොව ඉපිද අකණිටා බඹලොව තෙක් යන සුළු ව පිරිනිවන් පාන්නේ වෙයි. මහණෙනි, මේ ආහුනෙය්‍ය වූ, පාහුනෙය්‍ය වූ, දක්ඛිණෙය්‍ය වූ, අංජලිකරණීය වූ, ලෝකයාගේ අනුත්තර පින්කෙත වූ සත්වෙනි පුද්ගලයා ය.

මහණෙනි, මේ පුද්ගලයෝ සත් දෙනා ආහුනෙය්‍ය වෙති. පාහුනෙය්‍ය වෙති. දක්ඛිණෙය්‍ය වෙති. අංජලිකරණීය වෙති. ලෝකයාගේ අනුත්තර පින් කෙත වෙති.

සාදු! සාදු!! සාදු!!!

අනිච්චානුපස්සී සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M