අංගුත්තර නිකාය

සත්තක නිපාතෝ

7.1.2.5. උදකූපම පුග්ගල සුත්තං

7.1.2.5. දිය උපමා කොට පුද්ගලයා ගැන වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති. ඒ කවර සත් දෙනෙක් ද යත්;

මහණෙනි, මෙහිලා එක් පුද්ගලයෙක් වරක් දියෙහි ගිලුණේ, ගිලුණේ ම වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී නැවත යටට ගිලෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී සිටින්නේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී හොඳින් බලයි, හාත්පස වටපිට බලයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී එතෙර බලා පිහිනා යයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි. මහණෙනි, මෙහිලා තව පුද්ගලයෙක් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.

1. මහණෙනි, පුද්ගලයෙක් එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් ඒකාන්ත කළු පැහැයෙන් යුතු අකුසල ධර්මයෙන් සමන්විත වූයේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා එක් වරක් දියේ ගිලුනොත් ගිලුණේ ම වෙයි.

2. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී යළි ගිලෙන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. නමුත් ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපවතියි. නොවැඩෙයි. පිරිහී යන්නේ ම ය. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ නමුත් යළි ගිලෙන්නේ වෙයි.

3. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී සිටින්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. ඔහුගේ ඒ ශ්‍රද්ධාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. ඔහුගේ ඒ පවට ඇති ලැජ්ජාව ….(පෙ)…. පවට ඇති භය ….(පෙ)…. වීරිය ….(පෙ)…. ඔහුගේ ඒ ප්‍රඥාව නොපිරිහෙයි. නොවැඩෙයි. සිටියා ම වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ සිටියේ වෙයි.

4. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන් සෝවාන් වූයේ වෙයි. අපායට නොවැටෙන ස්වභාව ඇත්තේ, ස්ථිරව ම නිවන අවබෝධ කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට පැමිණියේ, හොඳින් බලන්නේ, හාත්පස වටපිට බලන්නේ වෙයි.

5. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ත්‍රිවිධ සංයෝජනයන් ගෙවා දැමීමෙන්, රාග ද්වේෂ මෝහ තුනී බවට පත්වීමෙන් සකදාගාමී වූයේ වෙයි. මෙලොවට එක් වරක් ම අවුත් දුක් කෙළවර කරන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී එතෙර බලා පිහිනා යන්නේ වෙයි.

6. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණෙන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ පංච ඕරම්භාගීය සංයෝජනයන් ගෙවා දමා සුද්ධාවාස බඹලොව ඕපපාතික ව උපදින්නේ වෙයි. ඒ ලොවින් නැවත මෙලොවට හැරී නොඑන ස්වභාවයෙන් යුතුව එහි පිරිනිවන් පාන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිට ඇති තැනට පැමිණියේ වෙයි.

7. මහණෙනි, පුද්ගලයෙක් දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වන්නේ කෙසේ ද?

මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් දියෙන් උඩට මතුවෙයි. එනම් ‘කුසල් දහම් පිළිබඳ ශ්‍රද්ධාව ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. හිරි ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. ඔත්තප්ප ඇති කරගැනීම මැනැවි. ….(පෙ)…. වීරිය ඇති කරගැනීම මැනැවි. කුසල් දහම් පිළිබඳ ප්‍රඥාව ඇති කරගැනීම මැනැවි. හේ ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වසන්නේ වෙයි. මෙසේ මහණෙනි, පුද්ගලයා දියෙන් උඩට මතු වී පිහිනා එතෙරට ගියේ, පරතෙරට ගියේ, ගොඩබිම සිටියේ, බ්‍රාහ්මණයා වෙයි.

මහණෙනි, මේ සත් වැදෑරුම් දිය උපමා කොට ගත් පුද්ගලයෝ ලෝකයෙහි විද්‍යමාන ව සිටිති.

සාදු! සාදු!! සාදු!!!

උදකූපම පුග්ගල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an4_7-1-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M